විශේෂාංග

අන්තවාදය පිළිබඳ මුස්ලිම් ජනයාට ස්වයං විවේචනයක් නැත්තේ ඇයි ?

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය හුදෙකලා සිද්ධියක් නොවේ. එම ප්‍රහාරයට පසුබිම සැකසූ හේතූන් රැසක් ඇති බව පැහැදිලිය. එම සිද්ධියට මුල් වූ ප්‍රචණ්ඩ අන්තවාදය හා ත්‍රස්තවාදය ලංකාවේ මුල් බැස ගත් ආකාරය ගැන ඓතිහාසික හා සමකාලීන තොරතුරු ඇසුරින් ගිය සතියේ මේ ලිපි මාලාවේ මුල් කොටසින් හෙළි කෙරුණි. මෙවර ලියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ‘‘මද්‍රසා’’ නමැති ඉස්ලාමීය පාසල් මාර්ගයෙන් අන්තවාදය සමාජගත කිරීම, සහ වහබ් අන්තවාදයේ මුල් ලක්ෂණ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් නොසලකා හැරීම හෝ යට ගැසීම පිළිබඳවය.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ ‘‘වෙළුම් අඩුය’’ යනුවෙන් පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙක් මැසිවිළි නගති. එහෙත් වාර්තාවේ 1 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට ඇතැම් තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් නොකිරීමට ප්‍රධාන හේතුව වන්නේ ඇතැම් පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බැවිනි. ඒ ගැන ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග අතරතුර ඒ හා සම්බන්ධ තොරතුරු මුදා හැරිය නොහැකි වීමයි. මෙලෙස අඩු යැයි කියන වෙළුම් නීතිපති දෙපාර්ත​මේන්තුව සතුවීම වැදගත්ය. එම රහස්‍ය තොරතුරු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සතුවීමෙන් දැනට ක්‍රියාත්මක නීතිමය ක්‍රියාමාර්ග කඩාකප්පල් විය හැකි බව අප මතක තබා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවෙන් 98% ‘‘සුන්නි’’ ඉස්ලාම් ආගම අනුගමනය කරන අතර 1.5% ‘‘ෂියා’’ ඉස්ලාමයද 0.5% ‘‘හාදියන්’‘ ධර්මයද අනුගමනය කරති. මෙම වෙනස් ප්‍රජාවන් සැදී ඇත්තේ ක්‍රි.ව. 632 නබිතුමාගේ අභාවයෙන් පසු මුස්ලිම් ප්‍රජාවේ නායකත්වය පිළිබඳ සිදුවූ ගැටුමේදීය. නබිතුමාගේ සහයකුවූ ‘‘අබූ බකර්’‘ ට නායකත්වය දීමට කැමැති වූවන් ‘‘සුන්නි’’ ලෙසද, නබිතුමාගේ බෑනා වූ ‘‘අලි’’ මුස්ලිම් රාජ්‍යයේ පාලකයා කිරීමට කැමැති වූවන් ‘‘ෂියා’‘ ලෙසද හැඳින්වේ.

මෙම ආගමික කණ්ඩායම් දෙක අතර පාකිස්තානය සහ ඉන්දියාව වැනි රටවල දරුණු එදිරිවාදිකම් තිබුණද ශ්‍රී ලංකාවේ මොවුහු සාමකාමීව ජීවත් වෙති. ශ්‍රී ලංකාවේ ෂියා ඉස්ලාම් බක්තිකයන්ගෙන් අති බහුතරයක් ඉන්දියාවට නෑකම් කියන ‘‘බොහොරා’’ ප්‍රජාවයි. ශ්‍රී ලංකාවේ සුන්නි ඉස්ලාමීය ප්‍රජාව විවිධ මිෂනාරී කණ්ඩායම්වලට සම්බන්ධ වන අතර එම කණ්ඩායම්වලින් සමාජගත කරන අන්තවාදී අදහස් පිළිබඳවත් එම කණ්ඩායම් වහාබ්වාදයට අනුගතවීම පිළිබඳවත් කෙටියෙන් විස්තර කිරීම වැදගත් වේ. පාස්කු කොමිෂන් වාර්තාවේ 3 වන පරිච්ඡේදයේ මේ පිළිබඳ සවිස්තරාත්මකව ලියැවී තිබේ.

Tablighi Jamaat and terror links – by Ali Arqam | Pakistan Blogzine‘‘තබ්ලීග් ජමාත්’’ යන ඉස්ලාමීය මිෂනාරී කණ්ඩායමේ ආරම්භය සිදුවන්නේ 1926 ඉන්දියාවේදීය. ඉන්දියාවේ මේවත් ප්‍රාන්තයේ මුහම්මද් ඉල්යාස් අල්කන්ද්ලාවි යන පුද්ගලයා ආරම්භ කළ මෙම කණ්ඩායමට වර්තමානයේ ලොව පුරා අනුගාමිකයන් මිලියන 350ත් 400ත් අතර සිටිති. තබ්ලීග් ජමාත් අනුගාමිකයන්ගෙන් බහුතරයක් වාසය කරන්නේ දකුණු ආසියාවේය. මොවුන් වහබ්වාදය පිළිගන්නා අතර සුන්නි ඉස්ලාමයේ මූලධර්මවාදී අදහස් සමාජගත කරන්නෝය. පාකිස්තානයේ ආරක්ෂක අංශ සහ ඉන්දියානු විමර්ශනවලට අනුව ‘‘හර්කකුල් මුජාහිද්දීන්’’ නමැති ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයන් තබ්ලීග් ජමාතයේ අනුගාමිකයන්ය. තබ්ලීග් ජමාත් හි සාමාජිකයන් 6000ක් මෙම ත්‍රස්තවාදි කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර පුහුණුව ලබා තිබෙන්නේ පාකිස්තානයේදීය.

තබ්ලීග් ජමාත් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1950 දශකයේදීය. මෙම කණ්ඩායමේ ප්‍රධාන පල්ලිය පිහිටා ඇත්තේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හිය. මෙහි ප්‍රබල අනු – ශාඛාව පිහිටා ඇත්තේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේය. ඉස්ලාම් නොවන පුද්ගලයන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ කර්තව්‍යයේ යෙදෙන මොවුන් අන්තවාදය පැතිරීමද වසර ගණනාවක් තිස්සේ කරගෙන යන්නෝය. වහබ්වාදයේ නිර්මාතෘ මුහම්මද් ඉබන් අල් වහාබ්ගේ ග්‍රන්ථය වන ‘‘කිතාබ් අල් තෝහීද්’’ තම නිවෙස්වල තබා ඇත. පාස්කු ප්‍රහාරයේ ‘‘අසාද්’’ නමැති ත්‍රස්තවාදියා තබ්ලීග් ජමාත් සාමාජිකයකු බව පාස්කු කොමිෂන් වාර්තාව සඳහන් කරයි.

‘‘ජමාත් ඉස්ලාම්’’ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තවත් අන්තර්ජාතික සංවිධානයකි. මෙම සංවිධාන 1941 ආරම්භ වන අතර එහි නිර්මාතෘ ‘‘අබ්දුල් අලා මදුදි’’ බ්‍රිතාන්‍යයේ වාසය කළ ඉන්දියානුවෙකි. ජමාතේ ඉස්ලාම් සංවිධානය වඩා ක්‍රියාකාරීව සිටින රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මැලේසියාව සහ තුර්කියයි. ඉස්ලාම් රාජ්‍යයක් අනාගතයේ පිහිටුවීමට උත්සාහ දරන මොවුන් ඉන්දීය රජය විසින් දෙවරක් නීතියෙන් තහනම් කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ජමාතේ ඉස්ලාම් (SLJI) ආරම්භ වූයේ 1954දී අබ්දුල් කාදර් ජයිලානි ශාහිබ් නමැති ඉන්දියානු ව්‍යාපාරිකයා විසින් දෙමටගොඩදීය. මාදම්පේ පිහිටි ‘‘ඉස්ලාභියා කොලේජ්’’ පවත්වාගෙන යන්නේ SLJI වන අතර ඉස්ලාම් ජිහාද් ව්‍යාපාරය සහ අන්තවාදය මුස්ලිම් ප්‍රජාව අතර සමාජගත කරන ‘‘හිස්බුල් ඉස්ලාම්’’ සංවිධානයද මෙයට අයත් වේ. ශ්‍රී ලංකාවේ SLJI සාමාජිකයන් බහුතරයක් වාසය කරන්නේ යාපනය, කින්නියා, මුත්තූර්, මාවනැල්ල සහ පුත්තලම යන ප්‍රදේශවලයි.

තව්හිද් ජමාත් යනු 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන ඉස්ලාමීය සංවිධානයයි. මෙම අන්තර්ජාතික සංවිධානය පාකිස්තානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති අතර එමගින් ‘‘සත්‍යවාදී’’ ඉස්ලාම් ධර්මය මුස්ලිම්වරුන් සහ මුස්ලිම් නොවන ප්‍රජාවන් අතර ප්‍රචලිත කිරීමත් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමත් අරමුණු කරගෙන සිටී. තව්හිද් ජමාත් සංවිධානයට අයත් අනු සංවිධාන 10ක් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු වන සහරාන් හෂීම් අයත් වූයේ තව්හිද් ජමාත් හි අනු සංවිධානයක් වන ‘‘ජාතික තව්හිද් ජමාත් (National Thoweed Jamaat – NTJ) සංවිධානයයි. මෙම ප්‍රධාන සංවිධානවලට අමතරව ‘‘ජමාත් උල් මුස්ලිමීන්’’ නමැති පාකිස්තානයෙන් මෙහෙයවන සංවිධානයත් ‘‘එහෙවනු (ඉක්වාන්) මුස්ලිමීන්’’ නමැති ඊජිප්තුවේ ජිහාද් කණ්ඩායම් සමග සම්බන්ධකම් පවත්වන සංවිධානයක් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

මෙවැනි විවිධ සංවිධාන දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුවද, මොවුන් වහබ් අන්තවාදයට අනුගත වන්නේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසිනි. සෝවියට් දේශය යුරේෂියානු කලාපයේ තම ආධිපත්‍යය පිහිටුවීම මැඩපැවැත්වීම සඳහා ඇම​රිකාව, මහා බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් ක්‍රියාත්මක කළ ප්‍රධාන උපාය මාර්ග අතරින් විශේෂ වන්නේ වහාබ් අන්තවාදයේ ව්‍යාප්තියයි. සීතල යුද්ධයේ තීරණාත්මක කාල වකවානුවක් වන්නේ 1970 දශකයේ අගභාගයයි. මැද පෙරදිග සහ යුරේෂියානු කලාපයේ දේශපාලන ක්‍රියාවලින් දෙකක් මේ සඳහා මූලික වේ. පළමුවැන්න සෝවියට් හමුදා මධ්‍යම ආසියාව හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුළු වූයේ කොමියුනිට්වාදී ඇෆ්ගනිස්ථාන ප්‍රජාතන්තවාදී පක්ෂයට (People’s Democratic Party of Afghanistan – PDPA) විරුද්ධව ඇෆ්ගන් ඉස්ලාමීය මුජාහිදීන් කණ්ඩායම් විසින් ආරම්භ කරන ලද කැරැල්ල මැඩපැවැත්වීමටයි. මෙම ලිපි මාලාවේ පළමු ලිපියේ සඳහන් කළ ආකාරයට මෙම ඉස්ලාමීය මුජාහිදීන් කණ්ඩායම් වහාබ් අන්තවාදයට යොමු කිරීමට මුලපිරුවේ ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී කඳවුරයි.

මෙම කාලවකවානුවේ දෙවැනි වැදගත් දේශපාලන සහ සමාජයීය ක්‍රියාවලිය වූයේ ඉරානයේ එවකට සිටි ඇමරිකාවට සහ බටහිරට පක්ෂ ‘ෂා’ (රජ) රෙසා පැහැල්වි බලයෙන් නෙරපා ඉස්ලාමීය ආගමික නායකයකු වූ අයතුල්ලා කුමේණි බලයට පැමිණීමයි. ඉරාන විප්ලවයේ පදනම වූයේ සුන්නි ඉස්ලාම් ධර්මයට වෙනස් වූ සහ පටහැනි වූ ‘ෂියා’ ඉස්ලාම් ධර්මයයි. මෙලෙස ඇමරිකාව ඇතුළු අධිරාජ්‍යවාදී කඳවුරට මැද පෙරදිග සහ යුරේෂියානු කලාපයේ තිබුණු ආධිපත්‍ය සෝවියට් දේශය සහ ඉරාන විප්ලවය මගින් හීන වූ අවස්ථාවේදී තැති ගත් එම කඳවුර සහාය පැතුවේ මැදපෙරදිග බලයට කෑදර වූ සෞදි අරාබිය සහ ඇෆ්ගනිස්ථානයට අසල්වැසි පාකිස්ථානයයි.

සෞදි අරාබියේ කිරුළ හිමි කුමාරයා වන මොහම්මද් බින් සල්මාන් අල් සවුද් විසින් 2018 අප්‍රේල් 2 දා වොෂිංටන් පෝස්ට් සහ ගල්ෆ් ටයිම්ස් පුවත්පත් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන ලද්දේ සෞදි අරාබියට හිතවත් බටහිර රටවල ඉල්ලීම පරිදි වහාබ්වාදය ලෝකයේ ව්‍යාප්ත කිරීමට සෞදි අරාබිය මුල් වූ බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලෝකයේ විවිධ රටවල මුස්ලිම් පල්ලි සහ මද්‍රසා පාසල් ව්‍යාප්ත කිරීමට විශාල ආයෝජනයක් කළේ​ සෝවියට් දේශයේ ආභාසය ප්‍රචලිත වීම වැළැක්වීමට බවයි. පාස්කු වාර්තාවේ 4 වන පරිච්ඡේදයේද මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇත.

මෙලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ මද්‍රසා පාසල් සහ පල්ලිවල විශාල ඉහළ යෑමක් දක්නට ලැබෙන්නේ 1980 දී සෞදි අරාබියේ තානාපති කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් පසුව සහ 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට සෞදිය ඇතුළු අනෙක් මැදපෙරදිග රටවලින් ලැබුණු ආධාරවලින් පසුවයි. කනගාටුවට කාරණයක් වන්නේ වහාබ් අන්තවාදය පතුරන මද්‍රසා පාසල් සියල්ල රජයේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වීමයි.

මද්‍රසා පාසල් කාණ්ඩ 3ක වර්ග කළ හැකිය. පළමුවැන්න ‘කුරාන මද්‍රසා’ පාසල් වේ. කුඩා ළමුන්ට කුරානය කියවීමට ඉගැන්වීම මෙම පාසල් තුළින් සිදුවේ. සෑම විටම පල්ලියකට සම්බන්ධ කුරාන මද්‍රසා 1689 ක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇත. දෙවැනි මද්‍රසා වර්ගය වන්නේ ‘‘හිල්ෆි කුරාන මද්‍රසා’’ යි. කුඩා ළමුන්ට කුරානය කට පාඩම් කිරීමට ඉගැන්වීම මේවායින් සිද්ධ කරනු ලබයි. ලියාපදිංචි හිල්ෆි කුරාන මද්‍රසා 132 ක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ. තෙවැනි මද්‍රසා වර්ගය වන්නේ ‘‘කිතාබ් මද්‍රසා’’ හෙවත් අරාබි පාසල්ය. අරාබි භාෂාව කියවීම, කතා කිරීම සහ ඉස්ලාම් ධර්මය ප්‍රගුණ කරන විද්වතුන් සහ ආගමික නායකයන් බිහි කිරීම මෙම මද්‍රසාවල කර්තව්‍ය වේ. මේවාට බඳවා ගන්නේ වයස අවුරුදු 14-15 අතර පිරිමි ළමයින්වය. 2019 වන විට ලියාපදිංචි හිතාබ් මද්‍රසා 317කුත් ලියාපදිංචි නොවූ මද්‍රසා 150 කුත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව පාස්කු කොමිෂන් වාර්තාව සඳහන් කරයි. වහබ්වාදය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කරන ඉහත කී සංවිධාන හරහා ලෝකයේ විවිධ රටවල් විසින් තහනම් කරන ලද අන්තවාදීන් බොහොමයක් මෙවැනි මද්‍රසාවල දේශන දීමට පැමිණි බව වාර්තාවේ. මේ අතර ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය විසින් තහනම් කළ කැනඩාවේ ආචාර්ය බිලාල් ෆිල්ප්ස් ඉන්දියාව සහ බංග්ලාදේශය විසින් තහනම් කළ ආචාර්ය සාහිර් නායක් සහ තමිල් නාඩුවේ තව්හිද් ජමාත් නායක පී.කේ. ජයේනුලාබ්දීන් එවැනි අන්තවාදී විදේශීය දේශකයන් අතර වේ.

අතීතයේ සිට තම සාරි පොටෙන් හිස වැසූ මුස්ලිම් කාන්තාවන් සාරිය විසිකොට ඇස් පමණක් නිරාවරණය වන නිඛාබයද සම්පූර්ණයෙන් ශරීරය ආවරණය වන කළු පැහැති බුර්කාවද වැලඳ ගන්නේ මෙවැනි අන්තවාදී මත සමාජගත වීමත් සමගය.

Face veils for Muslim women banned in Sri Lanka - OrissaPOST

කටාර් රාජ්‍යයේ වාසය කරන ඉස්ලාම් වහාබ්වාදී අන්තවාදය පතුරන විද්වතෙකු වන යුසුෆ් අල් කරදාවීද ශ්‍රී ලංකාවට පැමිණ තම මතවාදයේ ප්‍රචාරණ කටයුතු කළ බව පාස්කු කොමිෂන් වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ අන්තවාදී අදහස් 12 වසර ඉස්ලාමීය ශිෂ්ටාචාරය පිළිබඳ ගුරු අත්පොතේද ඉස්ලාම් ධර්මය (සිංහල) ගුරු අත්පොතේ (13 වසර) ඉතා ප්‍රශංසා සහගත ලෙසින් ලියවී ඇති බව වාර්තා​ වේ. මෙලෙස වහාබ් අන්තවාදී අදහස් විශාල වශයෙන් ඉස්ලාම් විෂය නිර්දේශයට ඇතුළත් වී තිබෙන බවත් ඒවා විවිධ ආගම් සහ ජාතීන් වෙසෙන රටකට සුදුසු නැති බවත් එම අත්පොත් වහාම නැවත ඇගයීමකට ලක් කරන බවටත් පාස්කු කොමිසම නිර්දේශ කොට තිබේ. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම්ගේ කාර්යය සල වෙන්නේ මෙවැනි සමාජයීය වෙනස්වීම් හේතුවෙන්ය. සහරාන් ප්‍රවර්ධනය කළ අවසානයේ පදනම වන්නේ ‘කලීෆා’ හෙවත් ඉස්ලාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමයි. දෙවැනුව මෙම ඉස්ලාම් රාජ්‍යය ප්‍රචණ්ඩ ජිහාද් යුද්ධයක් තුළින් ස්ථාපිත කළ යුතු බව ඔහුගේ මතය වූයේය. මධ්‍යස්ථ ඉස්ලාම් ආගමිකයන්ගේ මොළ සේදීම සඳහා ඔහු තෙවනුවට භාවිත කළේ ලොව වටා වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට සිදුවූ සහ සිදුවෙමින් පවතින කුරිරුකම් ගැන නැවත නැවත ආවර්ජනය කිරීමයි. ඒ හා සම්බන්ධව ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ බොදු බල සේනාව විසින් කළ ක්‍රියාවන්ද සහරාන් විසින් තම දේශනවල පවසා තිබේ. ශ්‍රී ලංකාව ඉස්ලාමීය රාජ්‍යයක් වුවහොත් ඥානසාර ස්වාමීන්වහන්සේට ලැබෙන දඬුවම හිස ගසා දැමීම හෝ ගල් ගසා මැරීම බව සහරාන් 2016 නොවැම්බර් 20 වැනිදා දේශනයකදී පවසා තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව තුළ වෙසෙන අන්තවාදී කොටස්වල ක්‍රියාවන් වහාබ් අන්තවාදයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට උත්තේජනයක් වී ඇති බව පාස්කු කොමිසම සටහන් කර තිබේ.

වහාබ් අන්තවාදය සහ ඉස්ලාම් රාජ්‍යයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන IS සංවිධාන විසින් නිකුත් කළ ලෝක සිතියමේ ශ්‍රී ලංකාව අයත් වන්නේ ‘විලායත් කුරසාන්’ නමැති දකුණු ආසියානු කලාපයටයි. IS මාධ්‍ය ප්‍රකාශක අබ්‍ර මොහම්මද් අල් අද්නානි විසින් 2015 දී ප්‍රකාශ කළේ කුරසාන් කලාපය පාකිස්තාන තෙහෙරීන් තාලිබාන් සංවිධානයට සම්බන්ධ වී සිටි හෆීස් සයිද් ඛාන් යටතට පත් කරවන බවයි. ශ්‍රී ලංකාවේ IS සංවිධානයට ප්‍රථමයෙන්ම සම්බන්ධ වූ පුද්ගලයා ‘ඉස්ලාමික් හෙල්ප්’ නමැති එන්.ජී.ඕ.‌​ෙව් සේවය කළ මොහොමඩ් මුහුසින් ඉෂාන් අහමඩ් නමැත්තෙකි. මොහු ටැන්සානියාවට සංක්‍රමණය වූ අතර ඉන් පසුව සිරියාවටද තුර්කියටද ගියේ තම පවුලත් සමගය. එවිට ඔහු IS සංවිධානයේ සාමාජිකත්වය ලැබූ බව වර්තාවේ. මෙලෙස IS සංවිධානයේ සාමාජාක ශ්‍රී ලාංකිකයන් සමහරක් ඔස්ට්‍රේලියාව වැනි බටහිර රවටලදී IS අන්තවාදය වැලඳ ගත්හ.

එවැනි තරුණ කොටස් අන්තවාදයට පෙලඹවූ ‘හරූන් මව්ලවී’ නමැත්තා දෙහිවල ට්‍රොපිකල් ඉන් ප්‍රහාරයේ බෝම්බකරු සමග කිට්ටු සම්බන්ධතා පැවැත්වූවේය. 2015 රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු වාර්තා අනුව ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් සිරියාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ වී තිබිණි. එම කාලවකවානුවේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පෙළපාළියකදී IS කොඩියට සමාන කොඩියක් එකතු වූ බවත්, එය මෙහෙය වූ හරූන් නමැත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ බවත් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නමැති දේශපාලනඥයා සමග ඉතා සමීප සම්බන්ධකමක් තිබෙන බවත් පාස්කු කොමිසම සටහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් IS සංවිධානයට සම්බන්ධ වීම පිළිබඳව පළවැනි වෙඩිමුරය දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වි​ජේදාස රාජපක්ෂය. 2016 නොවැම්බර් 16 වැනිදා අයවැය සංවාදය අතරතුර ඔහු පැවසුවේ ශ්‍රී ලාංකිකයන් 32කුත් සිරියාවට ගොස් IS සංවිධානයට බැඳුණු බවයි. විදේශීය ඉස්ලාම් අන්තවාදී දේශකයන් සංචාරක වීසා භාවිත කොට ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔවුන් බේරුවල, කල්එළිය, කල්මුනෙයි සහ කුරුණෑගල ප්‍රදේශවල මුස්ලිම් තරුණයන්ව අන්තවාදයට පොලඹ වන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. එහෙත් අවාසනාවකට ආචාර්ය විජේදාස රාජපක්ෂගේ ප්‍රකාශයට දරුණු විවේචන එල්ල විණි. එවකට අමාතය ධුර දැරූ රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රබල විරෝධයක් එල්ල විය. එවකට නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසර් අහම්ඩ්, ශ්‍රී ලංකාවේ මුස්ලිම් සභාවේ සභාපති එම්.එන්. අමීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් ඇතුළු විවිධ මුස්ලිම් දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් තදබල විවේචන එල්ල වූ ආකාරයත්, එමගින් ආචාර්ය විජේදාස රාජපක්ෂගේ අනතුරු ඇඟවීම යටගිය බවත් පාස්කු කොමිසම සටහන් කරයි.

මෙම කතාවෙන් පැන නැගෙන වැදගත් ප්‍රශ්නාර්ථයක් වන්නේ තම ප්‍රජාව තුළ පැතිරෙන අන්තවාදය පිළිබඳ මුස්ලිම් ජනතාවට ස්වයං විවේචනයක් නැත්තේ ඇයිද යන්නයි. ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල බෞද්ධ ඇතුළු සෙසු ප්‍රජාවන් අතර තමන්ගේ ප්‍රජාව තුළ ක්‍රියාත්මක වන අන්තවාදී කොටස් පිළිබඳ පුළුල් සහ තදබල විවේචන ඇත. 2020 මහා මැතිවරණයේදී සිංහල බෞද්ධ ජනතාව අති බහුතරයක් තම ඡන්දය දුන්නේ නිර්ආගමික දේශපාලන පක්ෂවලට මිස බොදු බල සේනාවට හෝ වෙනත් ස්වාධීනව තරග වැදුණු ස්වාමීන් වහන්සේලාට නොවේ. දමිළ ජනතාව ද තම ඡන්දය ප්‍රකාශ කළේ ඊළාම් අන්තවාදී පක්ෂවලට නොවේ. ඔවුන් උග්‍ර ඊළාම් අන්තවාදීන්ට විරුද්ධව ඡන්දය දුන්හ. එහෙත් මෙවැනි ස්වයං විවේචනයක් මුස්ලිම් ප්‍රජාව තුළ තිබෙන බවට සාක්ෂි තවම නැත. සිංහල බෞද්ධ එදිරිවාදීකමින් අසරණ වූ ජනවර්ගයක් ලෙස තම අනන්‍යතාව ගොඩනගන ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සැලකිල්ලට ගත යුත්තේ බාහිරින් නිර්මාණය කරන මනංකල්පිත සතුරකු නොව තම ප්‍රජාව අභ්‍යන්තරයේ පෝෂණය වන සතුරාය.

ආචාර්ය වගීෂා ගුණසේකර – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දේශපාලන අර්ථශාස්ත්‍රය විවෘත විශ්ව විද්‍යාලය