කතුවැකි

GMOA එක සෞඛ්‍ය අමාත්‍යාංශය හයිජැක් කරලද?

GMOA එක සෞඛ්‍ය අමාත්‍යාංශය හයිජැක් කරලද?

කොවිඩ් -19 සමයේ රාජකාරි කරන වෛද්‍යවරුන් දිරිගැන්වීම සඳහා ඔවුන්ගේ අමතර රාජකාරී දීමනා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ අනුව දිනපතා සේවයට වාර්තා කළ යුතු අංශවල වෛද්‍යවරුන්ගේ දෛනික රාජකාරි දීමනාව පැය 04 සිට 08 දක්වාත්, මාසික උපරිම සීමාව පැය 120 සිට 180 ක් දක්වාත් ඉහළ නැංවීමට අමාත්‍යංශයකැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. අමාත්‍යාංශය මෙම යෝජනාව කර ඇත්තේ අතීතයටද බලපාන පරිදිය. පසුගිය මැයි මාසයේ සිට ලබන අගෝස්තු මාසය දක්වා මාස 04 ක කාලයක් සඳහාය.

කොවිඩ් ව්‍යසනය හමුවේ වෛද්‍යවරුන් දිවා රෑ නොබලා තම ජීවිත අවදානමකටද ලක් කර ගනිමින් රාජකාරියේ නිරතව සිටින බව සැබෑය. එහෙත් සියලු වෛද්‍යවරුන් මේ ගණයට අයත් වන්නේ නැත. කොවිඩ් නිසා ඇතැම් රෝහලකින් උණ, හෙම්බිරිස්සාවකට හෝ බෙහෙත් ටිකක් ගන්නටත් යුද්ධයක් කළ යුතුය. රෝගියකු පැමිණියත් පරීක්ෂා නොකෙරෙන තරම්ය. ප්‍රශ්නයක් දෙකක් අසන්නේද හත් ගව්වක් තරම් දුරින් ඉඳිමිනි.

වැදගත්ම ප්‍රශ්නය වන්නේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් හෝ නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පහළ වූ මේ කරුණාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයන් සම්බන්ධයෙන් පහළ නොවූයේ කුමක් නිසාද යන්නය. වෛද්‍යවරුන් පමණක් නොව සෞඛ්‍ය සේවයේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට සියලු වෘත්තීන් කොවිඩ් මර්දන මෙහෙයුමේ ඉතාමත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරති.

වෛද්‍යවරුන්ට රෝගීන් හමුවන්නේ රෝහල්වලදී වුවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රෝගීන් සොයමින් ගෙයින් ගෙට යා යුතුය. කොරෝනා රෝගියකු මියගිය විට එම දේහයන් රැගෙන යන ගිලන් රථ රියැදුරන්, එම දේහයන්ගේ අවසන් කටයුතු කරන සේවකයන්ගේ රාජකාරිය වෛද්‍යවරුන්ගේ රාජකාරිය තරම් අගයන්නට නොවටින්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කල්පනා කරන්නේ කුමන පදනමින්ද? හේතුව කුමක් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශය යනු සමස්ත සෞඛ්‍ය සේවයේ මුදුන් ආයතනය නොව වෛද්‍යවරුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන්නට ඇති ආයතනය ලෙස කටයුතු කරන්නේ නම් අමාත්‍යාංශයේ නම වෛද්‍යවරුන්ගේ අමාත්‍යාංශය ලෙස වෙනස් කිරීම වඩා සුදුසුය. එවිට සෞඛ්‍ය සේවයේ ​අනෙකුත් සේවකයන්ට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් හෝ තම අවශ්‍යතා ඉටුකරවා ගත හැකිවනු ඇත.

දැනට පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ මූලික වැටුප රුපියල් අසූදෙදහසක් (82,000) පමණ වේ. ඔවුන්ගේ අමතර පැයක රාජකාරිය වෙනුවෙන් ගෙවන දීමනාව රුපියල් එක්දහස් එකසිය එකකි. (1101) මේ අනුව පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයකුගේ අමතර රාජකාරි කාලය මාසයකට පැය 180 දක්වා ඉහළ දැමූ විට එයින් පමණක් උපයාගත හැකි මුදල් වැටුප මෙන් තුන් ගුණයකට ආසන්නය.

සාමාන්‍යයෙන් අප රටේ රාජ්‍ය සේවකයන් බහුතරය ජීවත් වන්නේ වැටුපෙන් නොව අතිකාල දීමනාවලිනි. එහෙත් ඒ සඳහා ඔවුන් පැමිණීම, පිටවීම සටහන් කර අතිකාල රාජකාරි සඳහා ආයතන ප්‍රධානීන්ගේ පූර්ණ අනුමැතිය ලබා ගැනීම ආදී නියමයන් සපුරාලිය යුතුය. වෛද්‍යවරුන්ට අතිකාල සඳහා පමණක් නොව පැමිණීම, පිටවීම සටහන් කිරීමක් නැත. පැමිණීමේ ලේඛන, ඇඟිලි සලකුණු තැබීම් නැත.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා රුපියල් කෝටි ගණන් වැය කර වෛද්‍යවරුන් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර ගෙන ආ නමුත් එම වැඩපිළිවෙළ අසාර්ථක වුණේ වෛද්‍යවරුන් වර්ජන අවිය පෙන්වා ආණ්ඩුව බිය ගැන්වීම නිසාය. සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොව වෛද්‍යවරුන්ගේ අමාත්‍යාංශය වී ඇති නිසා වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒ ගැන කතාබහක් නැත.

කොරෝනා පළමු රැල්ල ඇති වූ අවස්ථාවේද වෛද්‍යවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීමක් කර තිබුණි. ජනතා විරෝධයත් සමග එම ඉල්ලීම යටගිය නමුත් කාටත් හොර රහසේ පසුගිය 2020 වසරේ ඔක්තෝබර් 01 දා සිට මේ වසරේ ජනවාරි 31 දක්වා සියලුම ශ්‍රේණීන්ට අයත් වෛද්‍ය නිලධාරින්ගේ අමතර රාජකාරි කාලය පැය 120 සිට 180 දක්වා ඉහළ නංවා ඇත. අමාත්‍යාංශය දැන් යළි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින්නේ එම දීමනාව තවත් මාස 04 ක් සඳහා ලබාදෙන ලෙසය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය සේවකයන් පමණක් නොව බොහෝ රජයේ සේවකයන්ට අමතර මහන්සියක්, වගකීමක්, අවදානමක් දරන්නට සිදුව තිබේ. ග්‍රාම නිලධාරින් යනු ඍජුවම මහජනතාව සමග ගැටෙමින් රාජකාරි කරන පිරිසක් වුවත්, ඇතැමකු තම රාජකාරියේ නිරත වන්නේ කොවිඩ් එන්නතක් හෝ නොලබාය. රජයේ සේවකයන් පමණක් නොව මේ අවස්ථාවේ රටේ සියලු දෙනාම කැපවීමකින් කටයුතු කරන්නට සිදුව තිබේ. එය අප කාගේත් ජාතික යුතුකමකි. වගකීමකි. කිසිම රජයේ සේවකයකු මේ අවස්ථාවේ තමන්ගේ අමතර රාජකාරි සඳහා ගෙවීම් ඉල්ලා නොසිටින්නේ ඒ බව තේරුම් ගෙනය.

අනෙක් අතට රජයේ සේවකයන්ගේ වැටුප පවා ගෙවා ගැනීම ප්‍රශ්නයක් වී ඇති අවස්ථාවක තමන්ගේ රාජකාරි සඳහා අමතර ගෙවීම් ඉල්ලා සිටිය හැක්කේ කාටද? කොවිඩ් වසංගතය හමුවේ ආණ්ඩුව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව පැහැදිලි වන්නේ කොවිඩි මර්දන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට රුපියල් බිලියන දෙසීයක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති නිසාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන්ගේ අමතර දීමනා ඉහළ නැංවීමට යෝජනා කරන්නේ මේ රටේ ආර්ථික තත්ත්වය එවැනි අසීරු අඩියකට පත්ව තිබියදීය. කොපමණ ආර්ථික අපහසුතාවන් තිබුණේ වුවත් අමාත්‍යාංශය මේ අවස්ථාවේ නව වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළුව සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමට ඉල්ලීමක් කරන්නේ නම් ඒ ගැන වරදක් කිව නොහැකිය. මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවකයන් කොතරම් සිටියත් වැඩි නොවන නිසාය. සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් පමණක් එක්දහස් පන්සීයකට වැඩි පිරිසක් තවමත් පත්වීම් නොලැබ සිටිති. සෞඛ්‍ය අමාත්‍යාංශය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වය හෝ තේරුම්ගෙන ඇත්නම් කළ යුත්තේ මේ වෛද්‍යවරුන්ට පත් වීම් දී ඔවුන්ව සේවයට කැඳවීමය.

මේ කිසිවක් නොකර වෛද්‍යවරුන්ගේ පමණක් අමතර දීමනා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට ගායක් හටගෙන ඇත්තේ කුමක් නිසාද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන් කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය හයිජැක් කර ඇති බවය. එන්නත් කරණයේ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය අමාත්‍යාංශය එය උල්ලංඝනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සාමාජිකයන්ගේ ඥාතීන්ට කොවිඩ් එන්නත ලබා දුන් ආකාරය ද අපට මතකය. දැන් සියලු දේ තිබියදී වෛද්‍යවරුන්ගේ අමතර දීමනා ඉහළ නංවන්නට යන්නේ හෙට අනිද්දා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලවරණයේදී වත්මන් නිලධාරි මණ්ඩලයේ ජය තහවුරු කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් වෙද්‍යෙවරුන්ට දෙන අල්ලසක් ලෙසද? සෞඛය ඇමැතිනිය ඊට පිළිතුරු දිය යුතුය.

කෙසේ හෝ වේවා සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැටෙව්වාට කැබිනට් මණ්ඩලය නටවන්නට හැකිවනු ඇතැයි අප විශ්වාස කරන්නේ නැත. යම් හෙයකින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පදයට නටන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත් එහි ප්‍රතිඵලය ගැන ද හොඳ වැටහීමක් කැබිනට් මණ්ඩලයට ඇතැයි අප සිතන නිසාය.