brand logo
logo
"මේ සිද්ධිය වුණේ මම බන්ධනාගාරයේ ඉඳලා එන අතරතුරයි" - සැකකරු

"මේ සිද්ධිය වුණේ මම බන්ධනාගාරයේ ඉඳලා එන අතරතුරයි" - සැකකරු

13 March 2025

''මම යුද හමුදාවේ ඉද්දි මට වෙඩි වැදුනා. ඉන් තුවාල වුණාට පස්සේ පස්සේ යුද හමුදාවට ගියේ නැහැ. පසුව කාලයක් පැවිදි වෙලා ඉඳලා පැවිදි දිවියද අත්හැරියා. මම කොල්ලකෑමේ සිද්ධියකට අත්අඩංගුවට අරන් රිමාන්ඩ් බාරයේ ඉඳලා ඇප ලබා පැමිණියා. ඒ පැමිණෙන අතරතුර තමයි මේ වෛද්‍යවරිය නිල නිවාසයට යනවා දැක්කේ. ඊට පසුවයි එයාව ලුහුබැඳ ගිහිං මේ අපරාධය කළේ '' යැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නේවාසිකාගාරය තුළදී වෛද්‍යවරියක දූෂණයට ලක්කර පලාගොස් සැඟව සිටියදී අත්අඩංගුවටපත් සැකකරු ගල්නෑව පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇළපාර, ගල්නෑව ලිපිනයේ පදිංචි කිරිබණ්ඩාගේ නිලංක මධුරංග රත්නායක හෙවත් බංටි යන අන්වර්ථනාමයෙන් හඳුන්වන ලැබූ සැකකරුවෙකි.


අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටි 32 හැවිරිදි වෛද්‍යවරියක් පසුගිය 10 වැනිදා සේවා මුරය නිම කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ට වෙන්කර ඇති නිල නේවාසිකාගාරයට පැමිණියේ සවස 06.30 ට පමණය. මේ අතරතුර වෛද්‍යවරිය දැක ලුහුබැඳ ආ පුද්ගලයකු ඇයව බරපතළ ලෙස දූෂණයට හා අපයෝජනයට ලක්කර තිබිණි.


පසුව සැකකරු විසින් වෛද්‍යවරියගේ ජංගම දුරකථන දෙකද සොරකම් කරමින් පලාගොස් තිබුණු අතර දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් යළි රෝහල කරා පැමිණි වෛද්‍යවරිය මේ පිළිබඳව සිය දෙමාපියන්ටද පවසා රෝහල්ගතවී තිබිණි.


උතුරු මැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධනගේ උපදෙස් මත අනුරාධපුර කොට්ටාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ ඍජු අධීක්ෂණය මත පොලිස් කණ්ඩායම් කිහිපයක්ම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකළහ. එසේම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද මෙම මෙහෙයුමට යොදවා තිබිණි.


මෙම සැකකරු විසින් වෛද්‍යවරියගේ ජංගම දුරකථන දෙකක් කොල්ල කා ගොස් ඇතත් ඉන් එක් ජංගම දුරකථනයක් මග විසිකර දමා ඇති බව අනාවරණය වී තිබුණේ වෛද්‍යවරියගේ ජංගම දුරකථන අංකය ඔස්සේ ලබාගත් දුරකථන සන්නිවේදන කුලුනු විශ්ලේෂණය මගිනි. මේ අනුව එක් දුරකථනයක් ගල්නෑව අවුකන දුම්රිය පොළ ආසන්නයේ ඇති බව නිරීක්ෂණය කරගත් පොලිසිය සැකකරු සැඟව සිටින්නේ ගල්නෑව පොලිස් වසම තුළ බව තහවුරු කරගත්හ.


මේ අනුව කරන ලද විමර්ශන මගින් සැකකරු ගල්නෑව හෙලබදුගම ප්‍රදේශයේ ගල්වළක් ආසන්නයේ නිවසක සැඟව සිටියෙදී ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරුගේ පපුවේ අම්මා යනුවෙන් පච්චයක් ද කොටා තිබුණු බව පවසන පොලිසිය මොහු තවත් අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ බව නිසැකවම තහවුරු කරගැනීම සඳහා දිවයිනේ සියලු පොලිස් ස්ථානවලින් සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවා ඇති බවත් පවසයි.


මෙම සැකකරු මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ ඇත්තේද අපරාධය සිදුකළ පසුගිය 10 වැනිදා බවත් සැකකරු යුද හමුදාවෙන් පලාගිය පුද්ගලයකු සේම පැවිදි වී සිටි අයකු බවත් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරු මතින්ම අනාවරණය කරගෙන තිබිණි.


මෙම අපරාධයට සම්බන්ධ සැකකරු වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනවිරත්නට ඊයේ (12 වැනිදා) නියෝග කළේය.


එසේම වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසුව අදාළ අපරාධකරු විසින් පැහැර ගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් පොලිසියට ලබාදෙන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ දුරකථන සමාගමේ කළමනාකාරීත්වයට නියෝග කරනු ලැබීය.


ඒ මෙම අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.


මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද පැවසුවේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවස තුළදී බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය මගින් මූලිකව දැනුම් දීමක් කළ බවයි.


ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශන අරඹා දූෂණයට ලක්වීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි වෛද්‍යවරියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද අධිකරණයට දැනුම්දුන් උප පොලිස් පරීක්ෂකවරයා මෙකී ප්‍රකාශවලින් හෙළි වූ කරුණු පදනම් කරගෙන මෙම අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් මෙහෙයුම් ආරම්භ කළ බවද කීවේය.


අපරාධයට සම්බන්ධ සැකකරු අධිකරණයට නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට තවදුරටත් දැන්වීය.


අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම් කේ ජයවීර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්න යන නිලධාරී සහ නිලධාරිනියන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන යුද හමුදාවෙන් පළා ආ සෙබළෙකු බව කියන සැකකරු ඊයේ (12 වැනිදා) ගල් නෑව පොලිසිය මගින් ගල්නෑව හෙළබදුගමදී අත්අඩංගුවට ගත් අතර මෙම අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (12 වැනිදා) පස්වරුවේ අධිකරණයට කරුණු වාර්තා කරන තෙක්ම සැකකරු ගල්නෑව පොලිසිය මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දී නොතිබිණි.

 

More News..