ගෝඨා ගෝ ගමට පහර දුන් 31ක් හඳුනාගත්තා -නීතිපති කියයි
05 November 2025 | කේ. එස්. උදයකුමාර
ගෝඨා ගෝ ගමට පහර දුන් 31ක් හඳුනාගත්තා -නීතිපති කියයි
05 November 2025 | කේ. එස්. උදයකුමාර
2022 වසරේ මැයි මස ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31දෙනෙකු හදුනාගෙන තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නුදුරේදීම අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා ඊයේ (04වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීම සිදුවූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලිසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් ඊයේ කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මෙම දැනුම් දීම සිදුකළේය.
මෙම පෙත්සම් ඊයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනවලට අදාළව අභියාචනාධීකරණය විසින් මීට පෙර අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කළේය.
එහෙත් එම අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධීකරණය විසින් අත්හිටුවා ඇති බවත් ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු කියා සිටියේය.
එම විමර්ශනවලට අනුව මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.
අගවිනිසුරුවරයා - එම හඳුනාගත් සැකකරුවන්ට එරෙහිව නඩු පවරන්නේ කුමන නීතියක් යටතේද?
රජයේ නීතිඥවරයා - ස්වාමීනී... අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා මෙසේ හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු ද ඇතුළත් වන බවත් කියා සිටියේය.
මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ පොලිසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්නේය.
ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේදී භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ සියල්ල තිබූ බවයි.
එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බවත් එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා වන එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
එම අවස්ථාවේදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම සඳහන් කර සිටියේ තම සේවා දායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් ගොනුකිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුනහොත් සිය සේවා දායකයාට දැඩි අගතියක් සිදුවන බව සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී.
මෙහි පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හෙයින් ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට ද පාර්ශ්වකරුවන් අධිකරණය හමුවේ එකඟ වූහ.
එම නිසා අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ යෝජනා කළේය.

