brand logo
logo
 ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට

ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සේවාවන් සඳහා Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට

24 May 2026


මෙරට කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් මෙරට රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා මේ වන විට රෝහල් පද්ධතියට එක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


අමාත්‍යාංශය පැවසුවේ මීට අමතරව එළැඹෙන මාසය තුළ තවත් යන්ත්‍ර 06ක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බවය.


මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වන අතර මේ සඳහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වැය කර තිබේ.


අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් හී ඇති ප්‍රධාන රෝහල් තුළ මේ වන විටත් අදාළ යන්ත්‍ර ස්ථාපති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.


එමෙන්ම එළැඹෙන මාසය තුළ ලැබීමට නියමිත ඉතිරි යන්ත්‍ර 6 අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල්වල ස්ථාපිත කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන් කිරීමටද අමාත්‍යාංශය කටයුතු කර තිබේ.


මෙම සියලුම යන්ත්‍ර ස්ථාපති කිරීමෙන් පසු ගැබ්ගෙල පිළිකාව හඳුනාගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා රජයේ රෝහල් පද්ධතිය තුළ ඇති මුළු කොල්පොස්කායි යන්ත්‍ර ප්‍රමාණය 33ක් වේ.


අමාත්‍යාංශය සඳහන් කරනුයේ මෙමගින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රෝගී ප්‍රතිකාර සේවා සිදු කිරීම අමාත්‍යාංශයේ මූලික අරමුණ වන බවය.


කොල්පොස්කොපි යනු ගැබ් ගෙල සහ යෝනි මාර්ගය තුළ අසාමාන්‍යතා පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන වෛද්‍ය ක්‍රියා පටිපාටියකි.


කොල්පොස්කොපි ලෙස හඳුන්වන විශේෂිත විශාලන උපකරණයක් මගින් ගැබ්ගෙල පටක පිළිබඳ සවිස්තරාත්මක දර්ශනයක් ලබා දෙන අතර වෛද්‍යවරුන්ට අසාමාන්‍ය සෛල හෝ තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර සිදු කිරීමට මෙම අතිනවීන යන්ත්‍ර උපකාරී වේ.


ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ නාරිවේද පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාව ඇතුළු අසාමාන්‍යතා හඳුනා ගැනීම සඳහා මෙම යන්ත්‍රය ප්‍රතිකාර සේවා සඳහා භාවිත කරයි.


මෙම පිළිකාව පූර්ව පිළිකා අවධියේ හඳුනා ගැනීම තුළින් වළක්වා ගත හැකි පිළිකාවක් බවත් මෙය මානව පැපිලෝමා වයිරසය මගින් බෝ වන රෝගයක් බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.


වර්තමානය වන විට වසරකට සාමාන්‍යයෙන් නව රෝගීන් 1,200ක් පමණ හඳුනා ගන්නා අතර නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වසරකට රෝගීන් 180ක් පමණ මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ දත්ත අනාවරණය කරයි.


 

More News..