brand logo
logo
සංඥා දෝෂ නිවැරදි නොකළොත් බිහිසුණු දුම්රිය අනතුරක් අතළඟ

සංඥා දෝෂ නිවැරදි නොකළොත් බිහිසුණු දුම්රිය අනතුරක් අතළඟ

06 July 2025 | ඉෂාර රත්නකාර

දිවයින පුරා දුම්රිය සංඥා පද්ධතියේ පවතින දෝෂ කඩිනමින් නිවැරදි නොකළහොත් විශාල අනතුරක් විය හැකි බවට ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය ප්‍රවාහන ඇමැතිවරයා වෙත දැනුම් දී තිබේ.


දුම්රිය සංඥා පද්ධතියෙහි පවතින දෝෂ හේතුවෙන් බිහිසුණු දුම්රිය අනතුරක් වනතුරු බලා නොසිට, ඊට පිළියම් යොදන ලෙස දුම්රිය බලධාරින්ගේ අවධානය යොමු කරන මෙන්ද එම සංගමය ප්‍රවාහන ඇමැතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.


‘‘මේ වන විට දුම්රිය ගමන් කරන්නේ පැරණි සංඥා පද්ධතියක් යටතේය. දුම්රිය සංඥා පද්ධතියේ තිබෙන ඇතැම් සංඥාවල බරපතළ දෝෂ තිබෙනවා. සමහර සංඥා අවිධිමත් අයුරින් තමයි තිබෙන්නේ. ඒවා අලුත්වැඩියා කිරීමට හෝ නවීකරණය කිරීමට කටයුතු කරන ලෙස බලධාරින් දීර්ඝ කාලයක සිට දැනුම්වත් කළත් මේ වන තෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නැහැ’’ යැයි ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව පැවසීය.


දුම්රිය සංඥා පද්ධතියේ පැවැති දෝෂයක් පෙරේදා (04 වැනිදා) රාගමදී වාර්තා වී තිබුණා. මෙවැනි සංඥා පද්ධතියේ තිබෙන දෝෂ පිළිබඳ පානදුර, අලව්ව, ගනේමුල්ල, විල්වත්ත ප්‍රදේශවලින් ද වාර්තා වී තිබුණා. දිනෙන් දින වාර්තාවන එම සිදුවීම්වලට වගකිව යුත්තේ කවුද? දුම්රිය ධාවනය සඳහා සංඥා පද්ධතිය කොතරම් දුරට විශ්වසනීය හා ආරක්ෂාකාරීද යන්න ගැටලුවක් තිබෙනවා. මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයෙහි සංඥා පද්ධතියක් වෙනුවට තිබෙන්නේ ටෝකන් මගින් දුම්රිය ගමන් කිරීමට අවසර දෙන ක්‍රමයක්. මෙවැනි තත්ත්වයක් හමුවේ දුම්රිය සංඥා පද්ධතිය නැවත පරීක්ෂා කර දුම්රිය විශ්වසනීය හා ආරක්ෂාකාරීව ධාවනය කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිනවා. එලෙස නිසි පියවරක් නොගත්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට සිදුවෙනවා’’ යැයි එම සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

More News..