අම්බලන්ගොඩ ඝාතනය මීටියාගොඩ නලීන්ගේ ඝාතනයට කළ පළිගැනීමක්
05 November 2025 | එෆ්.අස්ලම්, නයෝමි කරුණාසිංහ, මහේෂ්ද සිල්වා - බද්දේගම, ධර්මදාස සිරිවර්ධන - අම්බලන්ගොඩ
අම්බලන්ගොඩ ඝාතනය මීටියාගොඩ නලීන්ගේ ඝාතනයට කළ පළිගැනීමක්
05 November 2025 | එෆ්.අස්ලම්, නයෝමි කරුණාසිංහ, මහේෂ්ද සිල්වා - බද්දේගම, ධර්මදාස සිරිවර්ධන - අම්බලන්ගොඩ
මැතිවරණ සමයේදී මීටියාගොඩ ප්‍රදේශයේදී මහදුම නලීන් නැමැත්තෙක්ව වෙඩි තබා ඝාතනය කරනවා. ඊට පළිගැනීමක් ලෙස නලීන් නැමැත්තාගේ පුතා වන ඉසුරු කතා කරලා කියලා තියෙනවා මැරුණ තැනැත්තාගේ පුතාට උඹේ තාත්තා මැරුවෙ මම. මගේ තාත්තා මරපු හින්දා කියලා.
විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීටියාගොඩ ප්‍රදේශයේ සිදුවූ ඝාතනයක පළිගැනීමක් ලෙස බවට විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර මීටියගොඩ ප්‍රදේශයේ මහදුම නලීන් නැමැත්තා ඝාතනය වී ඇති අතර එම පුද්ගලයාගේ පුත්‍රයා ඉසුරු නැමත්තා විදෙස්ගතව සිටින අයෙකි.
ඊයේ අම්බලන්ගොඩ ව්‍යාපාරිකයා ඝාතනය වීමෙන් පසු එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ දුරකථනයට ඉසුරු නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත්තේ උඹේ තාත්තාව මැරුවේ මමයි. මගේ තාත්තා මරපු පළිය මම ගත්තා යනුවෙනි.
අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය අසලදී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා තිබුණේ ඊයේ (04 වැනිදා) උදෑසනය. එම වෙඩි තැබීමෙන් ඝාතනය ලක්වූයේ පෝරඹ පාළුවත්ත පාර ප්‍රදේශයේ පදිංචි බහු දින යාත්‍රා හිමිකරුවකු වන වර්ෂවිතාන මිරන්ත නැමති 51 හැවිරිදි දෙදරු පියෙකි
ඔහු යතුරුපැදියෙන් බැංකුවක සිට අම්බලන්ගොඩ වරායට යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇතැයිද මරණකරුගේ ගෙල, මුහුණ හා පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල වී ඇතැයිද විමර්ශන මගින් අනාවරණය වී ඇත.
ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයාද වන අතර අම්බලන්ගොඩ නගර සභා මැතිවරණය සඳහා සමගි ජන බලවේගය ලැයිස්තුවේ සිටි අපේක්ෂකයෙකි. ඔහු මෙවර අම්බලංගොඩ සමුපකාර මහා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.
එසේම මෙම ව්‍යාපාරිකයා කරන්දෙණිය සුද්දාගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා බවද පොලිසිය පවසයි.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඝාතනය වූ පුද්ගලයා කටයුතු කර ඇත.
එම කපු මහතා ලොකු පැටී නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීතමයකු වීමත්, ලොකු පැටීගේ රුපියල් කෝටි 33 ක කළු මුදල් සුදුකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ මෙම ව්‍යාපාරිකයා ගැන ඇතිවූ සැකයක් මත මෙම අපරාධය සිදුවූයේද යන්න පිළිබඳවද දීර්ඝ වශයෙන් විමර්ශන සිදුවන බවද පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අම්බලන්ගොඩ නගර සභාවේ සැසිවාරය පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවත්වා තිබූ අතර එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු වෙඩි ශබ්දය ඇසී වහාම උඩුමහලට දිවගොස් තිබිණි. ඒ සභාව තුළ වූ වෙඩිතැබීමක් දැයි සැකකරමිනි. මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියත් සමග අම්බලන්ගොඩ නගර සභා රැස්වීමද මහත් කලබලයට හා තැති ගැන්මට ලක්ව නතර කිරීමට සභාපතිවරයා පියවර ගත්තේය. ඒ සභාවේ ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.
වෙඩික්කරුවන් අපරාධය සිදුකර ගාලුපාරට ගොස් ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයෙන් පලාගොස් ඇති අතර එම රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගොස් තිබියෙදී පොලිසිය සොයාගෙන ඇත.
මෝටර් රථයේ ගමන් කළ පිරිස වෙඩික්කරු බවට පැවසෙන පුද්ගලයා අතරමගදී බස්සවා එහි රියැදුරු ලෙස සැක කෙරෙන පුද්ගලයා රථය දමා ගොස් ඇතැයිද සැකකෙරේ.
මෙම ඝාතනයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ප්‍රධානත්වයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම වැඩිදුර විමර්ශන සිදුකරති.
මේ අතර වසරේ මේ දක්වා කලය තුළදී වෙඩිතැබීම් 104ක් සිදුව ඉන් 51 දෙනකු මියගොස් 53 දෙනකු තුවාල ලබා තිබේ.

