brand logo
logo
පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය

පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස්කිරීමට අවධානය

09 June 2026

යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය සමාලෝචනය කිරීම සහ මහ කන්නය සඳහා පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සූදානම සම්බන්ධයෙන් පොහොර සමාගම් සමග සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


පොහොර ආනයනය සහ බෙදා හැරීම පිළිබඳ පොහොර සමාගම්වල ඇති සූදානම සම්බන්ධයෙන් මෙහිදී විමසා බැලූ ජනාධිපති ලේකම්වරයා, ඒ සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳවද විමසා බැලීය. 


මහ කන්නයට හිඟයකින් තොරව නිසි පරිදි පොහොර ලබාදීම වෙනුවෙන් පොහොර ආනයනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය කාල සටහනකට අනුව සිදු කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි. 


එමෙන්ම, සැප්තැම්බර් මස මුලදී මහ කන්නය ආරම්භ වන විට ගොවින් වෙත නිසි පරිදි පොහොර බෙදා හැරීම සහ පොහොර ආනයනයේදී ලෝක වෙළෙඳපොළහි පොහොර මිල උච්චාවචනය වීමේ ප්‍රවණතා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට ලක් විය.


මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පොහොර ආනයනය කිරීමේ සැලැස්මක් සකස් කිරිමටත්, ජුලි මස මුල් භාගයේදි එහි ප්‍රගතිය විමසා බැලීමටත් මෙහිදී සියලු පාර්ශ්ව එකඟතාව පළ කළහ.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජානකී අමරතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, රාජ්‍ය පොහොර සමාගමේ සභාපති බී. සී. ඩබ්. සේතුගේ මහතාද, CIC කෘෂි නිෂ්පාදන පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුජීව විජයවීර, නිව් ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ අධ්‍යක්ෂ ඊ.කේ. සිසිර කුමාර, හේලීස් පොහොර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමුද්‍ර රාජපක්ෂ, ඇලයිඩ් පොහොර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් අබේසිංහ යන මහත්වරුන් සහ පෞද්ගලික ආයතන ප්‍රධානීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

More News..