brand logo
logo
ස්ථාන මාරුවීම් දෙන්නේ නිසි ක්‍රමවේදයට අනුවයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

ස්ථාන මාරුවීම් දෙන්නේ නිසි ක්‍රමවේදයට අනුවයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

05 February 2026 | ශිරාන් රණසිංහ


කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු පනස් දෙනෙක් මෙම සතියේ එකවර ස්ථාන මාරුවීම් ඉල්ලුවත් ඒ අයට ස්ථාන මාරුවීම් දෙන්නේ නිසි ක්‍රමවේදයට අනුව පමණකැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.


ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලන ආකාරයට අක්ෂි රෝහලේ වෛද්‍යවරු එකවර වෙනත් රෝහල්වලට මාරු නොකරන බව ද අමාත්‍යාංශය පවසයි.


රාජ්‍ය සේවා කොමිෂම මගින් නිර්දේශ කර ඇති වෛද්‍යවරු නිසි ක්‍රමවේදයට යටත් අවශ්‍ය පරිදි වෙනත් රෝහල් වෙත මාරු කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ද සඳහන් කර තිබිණි.


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ පෙබරවාරි 02 වැනිදා සිට වෛද්‍ය ස්ථාන මාරුවීම් දීමට නියමිත සතිය ඇතුළත ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු පනස් දෙනා එකවර වෙනත් රෝහල් වෙත මාරු කරන ලෙසයි. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.


අක්ෂි රෝහලේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ අතිරික්ත වෛද්‍යවරු සිව් දෙනෙක් මාරුකර යැවීමට ගත් තීරණයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගිය දිනෙක හදිසියේම රෝහල තුළ එක් දින වර්ජනයක් ද ක්‍රියාත්මක කෙරිණි.


ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරද පසුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ අප්‍රසාදය පළ කළේ ය. මෙම තත්ත්වය මත එම රෝහලේ වෛද්‍යවරු 50 දෙනෙක් එකවර මෙලෙස ස්ථාන මාරුවීම් ඉල්ලා ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කළේය.


 

More News..