brand logo
logo
ලෝක කුසලාන අවසන් පූර්ව සටන් අදින් ඇරැඹේ

ලෝක කුසලාන අවසන් පූර්ව සටන් අදින් ඇරැඹේ

04 March 2026

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (4 වැනිදා) සිට ඉන්දියාවේදී ඇරැඹීමට නියමිතය. ප්‍රථම අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද රාත්‍රියේ කල්කටාහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා හෙට (5 වැනිදා) ඉන්දියාව සහ එංගලන්තය තරග වදිති.


තරගාවලියේ මෙතෙක් අපරාජිත දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර අද තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි වතාවට අවසන් මහා තරගයක් නියෝජනය කිරීමට නියමිතය. දකුණු අප්‍රිකාව පසුගිය තරග වාරයේ අනුශූරයන් බවට පත් වූ අතර නවසීලන්තය 2021 වසරේ අනුශූරතාව දිනාගත්තේය. මෙම කණ්ඩායම් දෙකම තවමත් ලෝක කුසලානයක් හිමිකරගෙන නොමැති වීම සේම මෙවර ඔවුන් ප්‍රථම වතාවට විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක මුණ ගැසීමද විශේෂත්වයකි.


දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය මෙතෙක් තරගාවලි ඉතිහාසයේ මූලික වටයේ තරගවලදී 5 වතාවක් තරග වැදී ඇති අතර එම සියලු තරගවල ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි. එහිදී 2007 තරගාවලියේදී කඩුලු හයකින්, 2009 තරගාවලියේදී එක් ලකුණකින්, 2010 තරගාවලියේදී ලකුණු 12කින් මෙන්ම 2014 තරගාවලියේදී ලකුණු දෙකකින් ඔවුහු ජයගත් අතර මෙවර තරගාවලියේ මූලික වටයේ තරගයේදී කඩුලු හතක ජයක් දකුණු අප්‍රිකාවට හිමිවිය.


මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දකුණු අප්‍රිකානු නායක ඒඩන් මාක්‍රම් ලකුණු 268ක් ලබා තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්ත පිතිකරු ටිම් සයිෆර්ට් ලකුණු 216ක් රැස් කරගෙන 10 වැනි ස්ථානයෙ රැඳී සිටියි. එසේම පන්දු යවන්නන් අතර කඩුලු 12ක් දවාගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන ලින්ගි න්ගිඩි තෙවැනි ස්ථානයේත්, කෝබින් බෝශ් කඩුලු 11ක් දවාගෙන 5 වැනි ස්ථානයේත් රැඳී සිටින අතර නවසීලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වන රචින් රවීන්ද්‍ර කඩුලු 9ක් දවාගෙන වැඩිම කඩුලු ලාභීන් අතර 16 වැනි තැන හිමිකරගෙන සිටියි.


එසේම හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරගය දෙවරක් ලෝක ශූරයන් වු කණ්ඩායම් අතර තරගයක් වන අතර ඔවුන් අතරින් ජයග්‍රාහකයා සිව්වැනි වරට විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබනු ඇත. මෙවර සත්කාරක ඉන්දියාව 2007 සහ 2024 ලෝක ශූරයන් බවට පත්වූ අතර එංගලන්තය 2010 සහ 2022 වසරවල ශූරතාව දිනාගත්තේය. ඉන්දියාව සහ එංගලනaතය පිළිවෙ(sන් 2014 සහ 2016 වසරවල අනුශූරයන් බවට පත් විය.


මෙවර තරගාවලියේ යම් හෙයකින් පාකිස්තානය හෝ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේනම් එක් තරගයක් මෙරට පැවැත්වීමටත්, අනෙක් තරගය ඉන්දියාවේ පැවැත්වීමටත් නියමිතව තිබිණි. එහෙත් එම කණ්ඩායම් දෙකම සුදුසුකම් නොලැබීම හේතුවෙන් අවසන් පූර්ව තරග දෙකම ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව ඇත.

 

More News..