brand logo
logo
රජයේ තීරණයක් නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කඩා වැටිලා

රජයේ තීරණයක් නිසා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කඩා වැටිලා

29 June 2025 | ඉෂාර රත්නකාර

රජය මෑතකදී ගනු​ ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් සමස්ත පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයම කඩා වැටී ඇතැයි දේශීය ආයෝජකයෝ පවසති.


පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මගින් විදුලිය මිලදී ගැනීමේ ගාස්තු 30% ක් දක්වා අඩුකිරීමට රජයගත් එම තීරණය වහාම සමාලෝචනය කර නව මිල ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බව දේශීය ආයෝජකයන්ගෙන් සැදුම් ලත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය සඳහන් කරයි.


‘‘විදුලිය මිලදී ගැනීමේ ගාස්තු කෘතිමව අඩුකර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පවත්වාගෙන යන දේශීය ආයෝජකයන් විදියට අපිට තිබෙන ප්‍රශ්නය තමයි මෙම නව මිල තීරණය කළේ කොහොමද? කුමන පදනමකින්ද යන්න පිළිබඳව. බැටරි බලශක්ති ගබඩා පද්ධති ජාතික ජාලය සමග ඒකාබද්ධ කිරීමට ලංකා විදුලි බලමණ්ඩලයට තවමත් ඇති නොහැකියාව සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනයට තර්ජනයක් වී තිබෙනවා’’ යැයි පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ සභාපති තුසිත පීරිස් සඳහන් කළේය.


විදුලිබල මණ්ඩලය කරන කටයුතු කිසිදු අධීක්ෂණයට ලක් නොවීමෙන් බරපතළ ගැටලු රැසක් ඇතිවී තිබෙනවා. විදුලි මිලදී ගැනීමේ ගාස්තු වහාම සංශෝධනය නොකර, බැටරි බලශක්ති ගබඩා පද්ධති ආනයන සඳහා වන තීරු බදු සහ අනෙකුත් බදු සම්පූර්ණයෙන්ම රජය ඉවත් නොකළහොත් මෙරට පුනර්ජනනීය බලශක්ති අංශයේ මළගම උදාවිය හැකි යැයිද තුසිත පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..