brand logo

යළි පෙට්‍රල් පෝලිම් අවදානමක්

23 August 2022

පිරවුම්හල් වලට ඉන්ධන ලබාදීම අඩුවෙයි

පිරවුම්හල් සඳහා ඉන්ධන ලබාදීම සතිපතා අඩු කරමින් පවතින බැවින් නැවත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෙට්‍රල් ලබාගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වන බවයි. අයි.ඕ.සී. පිරවුම්හල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට හැකියාව තිබියදී සිපෙට්කෝ පිරවුම්හල්වලට පමණක් ඉන්ධන ලබාදීමට අවහිරතාවයක් ඇතිවීම ගැටලු සහගත බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පැවසුවේය. QR ක්‍රමවේදය හරහා ඉන්ධන නිකුත් කරන ආකාරය පිළිබඳ ඉන්ධනහල් හිමියන්ට තොරතුරු දැනගත හැකි ක්‍රමයක් කඩිනමින් සලසන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එවිට පිරවුම්හල්වලින් සිදුවන අඩුපාඩු මඟහරවා ගැනීමට හැකි බවත් ඔහු කීවේය. මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසන්නේ ඉන්ධන ලබාගැනීමට පැමි‍ණෙන ජනතාවගේ පැහැදිළි අඩුවක් ඇති බවත් මිල ඉහළ යෑම ඊට ප්‍රධාන හේතුව බවත් ය. මේ අතර, ඉන්ධන ආනයනයට මාසිකව වැයවන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500 සිට 230 දක්වා පහළ ගොස් ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි. ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීම සඳහා මේ වනවිට රථවාහන හැටලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති අතර, එම ක්‍රමවේදය හදුන්වාදීමත් සමග ජාතික වශයෙන් ඉතිරියක් ද සිදුව ඇතැයි එම අමාත්‍යංශ පෙන්වා දෙයි. එමෙන්ම ඉන්ධන පරිභෝජනය ද මේ වනවිට දෙගුණයකින් පමණ අඩුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් පැවසීය. ඉන්ධන අර්බුදය බරපතළ ලෙස පැවති කාල සීමාවේදී දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,500කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කලද මේ වන විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2000ක් පමණ වී ඇත. එම කාලයේදී ඩීසල් මෙට්‍රික් ටොන් 6,600ක් පමණ පරිභෝජනය කලද, මේ වන විට එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3000 දක්වා අඩුවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. අශිකා ජයවීර
 

More News..