කතුවැකි

කතුවැකිය

හබලක් නැති අපට නැව් ටෝක් මොකටද?

වරාය නගරය ඉදිකරගෙන යන සමයේ එවකට මෙරට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය රාජ්‍ය බලධාරින් හමුවට ගියේ ය. උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් පිළිබඳ තමන් කනස්සල්ලට පත්වන බවත් ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ඉන්දියාවේ සහාය අහිමි කෙරෙන බවත්, නිල නොලත් තර්ජනයක් එදා ලංකාණ්ඩුවට ලැබෙමින් තිබිණ. මේ කාලයේ ඉන්දියාවට ගිය ආරක්ෂක ලේකම් පය බරවායට පිටිකර බැඳිය යුතු බෙහෙත් මොනවා දැයි අසන ජාතියේ ප්‍රශ්නයක් ඉන්දීය බලධාරින්ගෙන් ඇසුවේය.

‘‘ඉන්දියාව ලංකා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? තර්ටීන් ප්ලස් (13+) දෙමළ ජනතාවට දෙන්න ඕනෑද?’’

ඉන්දියානු බලධාරිහු පිටිකර නොව බරවායටම වුවමනා බෙහෙත් ලංකාවේ ආරක්ෂක ලේකම්ට දැනුම් දුන්හ.

‘‘අපිට ඔබ උතුරට 13+ දුන්නත් කමක් නෑ. 13 විතරක් දුන්නත් කමක් නෑ. අපි කියන්නේ පෝර්ට් සිටිය චීනයට දෙන්න එපා.’’

ජාත්‍යන්තර දේශපාලනයේදී මානව හිමිකම්, සුළු ජන වර්ගවල අයිතීන් ඉස්සරහට එන්නේ මෙබඳු ගනුදෙනු පදනමේ තබාගෙනය. එහෙත් යුද්ධයක් දිනූ නායකයකු වූ මහින්ද රාජපක්ෂ අලුයම ලූ කෙළ පිඩක් සේ ඉන්දියාවේ ඉල්ලීම බැහැර කළේය.

ඊළඟට 2014 දී කොළඹ වරායට චීන යුද නැව් දෙකක් ආවේය. එය සබ්මැරීන් සහිත නෞකාවක් බැවින් ඉන්දියාව විරෝධය පෑවත් එහි ඵලක් නොවිණ. මේ නැව් හා වරාය හුටපට නිසා 2015 මහින්දට ගෙදර යන්න පාර කැපුණේය. දැන් ආයෙත් චීන නැවක් හම්බන්තොට එයි. එකම ගඟට දෙපාරක් බහින්න නොහැකි යැයි කොම්ෆියුසියස් කීවාක් මෙන් නව වැනිදා චීන නැව ලංකාවට එන්නේ එදාට වඩා සපුරා වෙනස් දේශපාලන ගඟ දියකය.

මීට පෙර චීනයෙන් ලංකාවට එවූ කාබනික පෝර නැව ‘‘අසූචි නැවක්’’ ලෙස හංවඩු ගසා ලංකාණ්ඩුව බැහැර කර තිබිණ. ලංකාව ඒ පෝර නැව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රශ්නය චීනය භාර ගත්තේ මිතුදම් බිඳෙන ආකාරයටය. චීනයේ තැනට ඉන්දියාව ආවේය. ඩොලර් බිලියන හතරක ණයක් ලංකාවට වෙන් කළේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය ගැනීමට ඉන්දියාව ඇප කරුවකු වන බවටත් ප්‍රතිඥා දුන්නේය. ඒ අතරේ චීනය තවත් හිර කරන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනය ලංකාවට දුන් ණය ප්‍රතිව්‍යුහගත කර ගන්නා ලෙස බල කළේය. ඉන් නොනැවතුණු ඇමරිකාව චීනය ලංකාවට දී ඇති ණය නිසා ලංකාව මහ උගුලක පැටලී ඇති බව කීවේය. දැන් ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැනීමට නම් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟ කරගත යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි හරහා චීනයෙන් ඉල්ලූ ගේම එයය. මේ තත්ත්වය යටතේ දැන් චීන යුද නැව හම්බන්තොට වරායට එයි. ලංකාව මුහුණ දී තිබෙන තත්ත්වයේ හැටියට චීන නැවට එන්න එපා කියන්න ලංකාවට බැරිය. එහෙත් චීන නැව ගෙන්වා ගත්තොත් ඉන්දියාවට ද කළ හැක්කේ ලංකාවට ටොකු ඇනීම පමණය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම, ලාංකිකයන්ට ඉන්දියා භූමියට වීසා නොදීම වැනි දේ වුව ඔවුන්ට කළ හැකි දේය. ජාත්‍යන්තර දේශපාලනයද අමුතු න්‍යායයන්, ආචාරධර්මයන් මත පදනම් වන්නේ යැයි සිතීම වැරදිය. එහි ‘‘පහත් තැනින් යයි ගලා ජලේ’’, ‘‘දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී’‘ න්‍යායන් ක්‍රියාවේ යෙදවෙයි. පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු කීවාක් මෙන් අප දැන් මරියානා ආගාධය ළඟට නැව පැදගෙන ඇවිත්ය. ‘‘මුහුද මගේ ගොඩබිමයි – නැව මගේ නිවසට සමයි’’ කියා කියන්න පුළුවන් කප්පිත්තෙක් නැව පදවන බව ආණ්ඩුවේ විශ්වාසය. මේ ජාත්‍යන්තර දේශපාලනයේ මොන දේ වුණත් ඒවායේ ප්‍රතිඵල වන්නේ අපේ රටේ තෙල්, ගෑස් පෝලිම්වල ඉන්නා ජනතාවටය. එහෙත් අපේ ජනතාවට මේ මොහොතේ මේ ජාත්‍යන්තර දේශපාලන කාරණා කුමටද?

මේ කාලයේ බලවත්ම දේශපාලන හා අර්ථික අරගලකරුවන් පදවන ත්‍රීවිල් පිටිපස ගසා ඇත්තේ හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද කියාය.

**************************************************

පිළිවෙත් වත්මන පුරණ භික්ෂූන්ගේ කුටියේ උළුවස්සේ මේ කාලයේ “අයං වස්සාන කාලෝ’’ යැයි ලියා තිබේ. ‘‘මේ වස් කාලයයි’’ යන්න එහි තේරුමයි. වස් කාලයේ අවාසයෙන් පිටත රැයක් ගත කිරීම ඇවැතකි.

එහෙත් පසුගිය සිකුරාදා හමාර වූ ‘‘ගෝඨා ගෝ ගමේ’’ සඟ, වෙද, ගුරු ගොවි, කම්කරු බලවේගයේ නායකයාගේ පිළිමය පාමුල සඟුන් දෙදෙනෙක් වස් වැසූහ. ඔවුන්ට එතැන වස් වසන්නට ආරාධනා කළේ කාදිනල්ද, මංජුල පීරිස් පියතුමාද කියා පැහැදිලි නැත. රැට්ටා උපාසක තැනද, ස්ටාලින් මහෝපාසකතුමාද කියාද කව්රුත් නොදනිති. එහෙත් ඔවුන් වෙසෙන තැනට පොලිසියෙන් පැන්න විට කීවේ තමන් රාමඤ්ඤ නිකායේ බවත්, මේ පිළිම සෙවණේ වස් වසන බවය. එය අරගල බිමේ සිටි මහෝපාධ්‍යයන් වහන්සේ අනුදැන වදාලක්ද නොතේරේ. සිස්ටම් චේන්ජ් කිරීම සඳහා අරගල කළ මේ ගමේ වැසියෝ ආගම රාජ්‍ය පාලනයට යොදා නොගන්නා ලෙස ආගම ජාතිය විකුණා නොකළ දේශපාලනයක යෙදෙන ලෙස රටට බල කළෝය. එහෙත් සිස්ටම් චේන්ජ් වෙනුවෙන් පෙනී සිටින්නෝද නිරන්තයෙන් කළේ අරගලයට ආගම ගා ගැනීමය. ‘‘අධිරාජ්‍ය විරෝධී සටන් ආරම්භයේදී ආගමික සටන් පාඨ භාවිතයට ගනිතැයි’’ ලොව මුල්ම දේශපාලන සිස්ටම් චේන්ජ් එක කළ වී.අයි. ලෙනින්තුමා කී බව ඔවුන් මතක් කරන්නට ඉඩ තිබේ. එහෙත් මේ ගෝල්ෆේස් අරගලකරුවෝ ආගමික චාරිත්‍ර වාරිත්‍ර යොදා ගන්නේ අධිරාජ්‍යවාදයට එරෙහිව නොව අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව ලංකාවේ ඉටු කිරීමට බව ගෙවුණ කාලය දෙස බලන්නකුට පෙනේ. තරුණ භික්ෂුවක් දේශපාලන සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදීම වෙනම කාරණයකි. ගිහියන්ට එබඳු භික්ෂූන් නිසි මග යවන්නට නොහැකි වුවත් ඔවුන් පිළිකුලේ කෙවිටෙන් තළා මගහැර ගරු නොකර සිටිය හැකිය. එහෙත් භික්ෂුවට ගරු නොකළත් පිං අත්පත් කර ගැනීමටත් වසර දහස් ගණනක් පුරාත් ගිහියන් භික්ෂූන්ට උවටැන් කරමින් ක්‍රියාත්මක කළ වස් වැසීම බඳු ආගමික චාරිත්‍ර දේශපාලන කාරණාවලට අපහරණය කරන්නේ නම් එය කම්පාවට හේතුවකි. ඒ නිසා භික්ෂුන් රටට නායකයකු හොයනවාට වඩා තම සාසනයට නායකයන් සොයා ගැනීම වැදගත්ය.