කතුවැකි

සැකකරුවන් හැම විටම වරදකරුවන් වන්නේ නැත

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පුද්ගලයන් දස දෙනකු නිදහස් කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමියන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කැඳවා කරුණු විමසා ඇතැයි කියන පුවතක් ඊයේ අප පුවත්පතේ පළව තිබිණ. පාස්කු ප්‍රහාරයේ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකුට අයත්ව තිබූ කම්හලක සේවය කළ පුද්ගලයන් දස දෙනකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ. අධිකරණය එම සැකකරුවන් නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන යෑමට අදහස් නොකරන බව නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය දැනුම් දීම නිසාය.

පාස්කු ප්‍රහාරය මුළු රටම කම්පාවට හා භීතියට පත් කළ සිදුවීමක් වුවත්, ඉන් වඩාත්ම හානි සිදු වූයේ මෙරට කතෝලික ජනතාවටය. මේ නිසා ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ සිටම කාදිනල් හිමියන් ඒ වෙනුවෙන් කරන මැදිහත්වීම අපට තේරුම්ගත හැකිය. එසේම ප්‍රහාරයෙන් පසු ඇතිවිය හැකිව තිබූ සමාජ නොසන්සුන්තාව වළක්වා ගැනීමට කාදිනල් හිමියන් කරන ලද මෙහෙය කතෝලික පමණක් නොව මේ රටේ බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ජනතාවගේ ප්‍රශංසාවට ද ලක්ව තිබේ. රටේ පාලකයන් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා බැඳ තබා ඇත්තේද උන්වහන්සේගේ ‘‘හඬ’ විසින් බව පැහැදිලිය.

එසේ වුවත් එම ප්‍රහාරයේ සැකකරුවන් දස දෙනකු නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා කැඳවා කරුණු විමසීම හා ඒ ගැන කනස්සල්ල පළ කිරීම නම් මේ රටේ බොහෝ දෙනා පිළි නොගන්නා කාරණයක් වනු ඇති බව කාදිනල් හිමියන්ට මතක් කිරීමට කැමැත්තෙමු. නිදහස් කෙරුණු සැකකරුවන්ට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොලැබීම නිසාය. පිළිගත හැකි සාක්ෂි නොමැතිව යමකුට එරෙහිව නීති මගින් කටයුතු කළ නොහැක. කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය හෝ අධිකරණය එසේ කටයුතු කරන්නේ නම් එය ඒ පුද්ගලයාගේ අයිතීන් උල්ලංඝනය කිරීමකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කාදිනල් හිමියන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ සැකකරුවන් නිදහස් කිරීම නිසා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාව තුළ කුකුසක් ඇතිව තිබෙන බවය. කතෝලික ප්‍රජාවට පමණක් නොව සමස්ත රටටම පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් එතරම් සතුටක් නැත. ඒ මෙම පරීක්ෂණ අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම නිසාය.

ප්‍රමාදයක් තිබියදී වුවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් තිස් දෙනකුට නඩු පැවරීමට මේ වන විට තීරණය කර තිබේ. තවත් පුද්ගලයන් 246 දෙනකු පමණ තවමත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටිති. ඊට අමතරව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම පුද්ගලයන් 438 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර කොමිසමේ පොලිස් ඒකකය එක්දහස් පන්සියකට වැඩි පිරිසකගෙන් කට උත්තර සටහන් කරගෙන තිබේ.

එසේ වුවත් මේ සියලු දෙනා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් යැයි ඉන් අදහස් වන්නේ නැත. ඉදිරි පරීක්ෂණ කටයුතු අනුව ඒ අයද එම චෝදනාවලින් නිදහස් වනු ඇත. පසුගියදා නිදහස් වූ පුද්ගලයන් දස දෙනාද චෝදනාවලින් නිදහස් වීම සිදු වූයේ ඒ අනුව යැයි කල්පනා කළ නොහැකිද?

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට උපරිම දඬුවම් නියම වීම අප කාගේත් අපේක්ෂාවය. ඔවුන්ගේ වරදට දඬුවම් දීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති පනවා හෝ දඬුවම් කළත්, කිසිවකුට ඊට විරුද්ධ විය හැකි යැයි අප සිතන්නේ නැත. පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් නොකර සිටීම සමාජයට, මනුෂ්‍යත්වයට කරන අපරාධයක් වන්නා සේම ඊට වගකිව යුතු නැති අයකුට ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවීමද ඒ හා සමාන අපරාධයක් බව අපගේ අදහසය.

අපරාධයක, අයුක්තියක, අසාධාරණයක වින්දිතයාගේ තත්ත්වය කොතරම් හැඟීම්බර වුවත්, ඔහුට සාධාරණය ඉටු කිරීමට සිදුවන්නේ හැඟීම්වලට අනුව නොව නීතියට අනුවය. විශේෂයෙන්ම ජාතික ආගමික මූලයන් සම්බන්ධ ප්‍රශ්නවලදී අප පුරුදුව සිටින්නේ අපි දකින දේ, අප සිතන දේ නීතිය විය යුතු යැයි යන ස්ථාවරයේය. නීතියෙන් සාධාරණය ඉටු නොවන්නේ යැයි අපට හැඟෙන්නේ මෙම ස්ථාවර නිසාය.

සාමාන්‍ය ජනතාව මෙවැනි අන්තවාදී මත දැරීම ඕනෑම සමාජයක ලක්ෂණයක් විය හැකි නමුත් ජාතික, ආගමික නායකයන් ඊට අනුබල නොදෙනතාක් කල් ඉන් බරපතළ සමාජ අර්බුද හට ගන්නේ නැත. පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ කතෝලික ප්‍රජාව මුල්කොටගෙන පොදු සමාජයේ ඇති වූ නොසන්සුන්තාව සමනය වූයේ කාදිනල් හිමියන් පොදු ජන මතයට යට නොවී මධ්‍යස්ථ පිළිවෙතකින් ඔවුන් ආමන්ත්‍රණය කළ නිසාය.

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් කිරීම සඳහා වගකිවයුත්තන්ට බලපෑම් කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එසේම ඕනෑම පරීක්ෂණයකදී යුක්තිය සාධාරණය ඉටු වී නැතිනම් ඊට එරෙහිව සටන් කිරීමද කළ යුතුය. එහෙත් එය කළ යුතු වන්නේ පවතින නෛතික රාමුව යටතේ බව අප තේරුම්ගත යුතුය. ඒ සඳහා අවකාශය අපගේ නීති පද්ධතියෙන් ද සලසා දී තිබේ.

එසේ තිබියදී ජනතාවගේ හැඟීම්වලට ආමන්ත්‍රණය කිරීමෙන් සිදුවන්නේ සමාජයම දවා හළු කරන ගිනි දැල්වීමය. එවැනි ගිනි ආරම්භ වූ පසු ඒවායේ ආරම්භකයන්ටත් නිවාගත නොහැකි බව අප අතීතයෙන් පාඩම් ඉගෙන තිබේ.