කතුවැකි

විදෙස් විනිමය ‘ලෙඩේට’ ෆයිසර් එන්නත අගුණද?

මේ​ මොහොත වනවිට අප රට විදේශ විනිමය හිඟයක් පවතින බව කීම කොරෝනා – 19 වචනය තරමට මේ රටේ ජනප්‍රිය කාරණයකි. විදේශගත වන ශිෂ්‍යයන් තමන් සතු රුපියල් ඩොලර් බවට පත් කරගන්නේ ඉතා අපහසුවෙනි. මහබැංකුව, විදේශවලට ඩොලර් ගෙනයාමට සීමා කළේ මේ විදේශ විනිමය හිඟය නිසාය. නීති දමා විනිමය පාලනය කළ 1970 -1977 කාලයෙන් පසු විදේශ විනිමය ක්ෂේත්‍රයේ බරපතළම හිඟ පාඩුවක් වූ කාලය මෙයය.

කොරෝනා ආරම්භ වූ 2019 වර්ෂය වන විට විදේශගත ශ්‍රමිකයෝ ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් ලංකාවට එවමින් සිටියහ. තේ, රබර්, පොල් ඇඟලුම් ආදී මෙකී නොකී සියල්ල එක්කර අපනයනය කළත් ඉන් ලැබෙන්නේ ඩොලර් බිලියන 12කි.

ඒ අනුව සමස්ත විදේශ විනිමය ආදායමෙන් තනි අයිතමයක් ලෙස වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙනෙන්නේ විදේශගත ශ්‍රමිකයන් යයි මහ බැංකු වාර්තා සඳහන් කරන විට මේ ආදායම් මාර්ගය රටට කොතරම් වැදගත් දැයි ඕනෑම කෙනකුට වැටහේ.

2019 වසර වනවිට ඩොලර් බිලියන හතක් ඉක්මවා ලැබෙමින් තිබූ විදේශ ශ්‍රමික ආදායම මේ අවුරුද්දේ ගෙවුණ හය මාසය තුළ ඩොලර් බිලියන දෙක දක්වා පහළ බැස තිබේ. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ මේ අන්දමට ගියොත් වසර අවසානයේත් තව ඩොලර් බිලියන දෙකකට වඩා නොලැබෙනු ඇත කියාය.

මේ පත් විපතට ප්‍රධාන හේතුවත් එකම හේතුවත් කොරෝනා 19 වසංගතයය. වසංගතය ආරම්භ වීමත් සමගම විදේශගතව සිටින බොහෝ දෙනකුට ජීවන මාර්ග අහිමි විය. වසංගතය පටන් ගත් දා සිට මේ වන විට ලක්ෂයක් ඉක්මවා ගිය විදේශ ශ්‍රමිකයන් පිරිසක් මෙරටට ගෙන්වාගෙන ඇත. එසේ ගෙන්වා ගැනීමෙන් ඔවුන් එවමින් සිටි විදේශ විනිමය ලංකාවට අහිමි වූවා පමණක් නොව ලක්ෂයක ජනතාවකට කන්න බොන්න දී නිරෝධායනයට වියදම් කිරීමටද ආණ්ඩුවට සිදුවිය.

එසේම කොරෝනා ලංකාවේ පැතිරෙන්නට පෙර 2019 වසරේ ලංකාවෙන් රැකියා සඳහා විදේශගත වී ඇති පිරිස දෙලක්ෂයකට මඳක් වැඩිය. එහෙත් 2020 වසරේ විදේශගතව ඇත්තේ 30000කට නොවැඩි පිරිසකි. වාර්ෂිකව රස්සා සඳහා විදේශ ගත වන පිරිසෙන් හතරෙන් එකකටත් වඩා දැන් ඒ පිරිස දැන් අඩු වී ඇත.

ලෝක සිතියමේ තිබෙන රටවල් සියයක පමණ ලාංකිකයෝ රැකියා කරති. එහෙත් වැඩිපුරම රැකියා සඳහා ලාංකිකයෝ යන්නේ එයිනුත් රටවල් විසිපහකටය. මැද පෙරදිග රටවල් දොළහක් ඇතුළුව සිංගප්පූරුව, කොරියාව, ඊශ්‍රායලය, හොංකොං, ඉතාලිය, ඔස්ට්‍රේලියාව ආදී රටවල් ලාංකිකයන්ගේ ප්‍රධාන වැඩ බිම්ය.

ලාංකිකයන්ගේ ප්‍රධාන වැඩබිම්ව තිබූ රටවල් සෑම එකකටම කොරෝනා 19 තදින් බලපෑවේය. ඒ රටවලම ආර්ථිකයන්ට කිඹුහුමක් යන විට ලංකාවට කොවිඩ් නියුමෝනියාව වැලඳුණා යැයි කීමේ වරදක් නැත. ඒ ඒ රටවල ආගමන විගමන නීති ඒ රටවල ආර්ථිකය ලංකාවේ විදේශ විනිමය පසුම්බියට තදින් බලපෑවේය. එහෙත් අප ආදායමට කොතරම් බලපෑවත් ඒ කිසිවක් අපේ පාලනයේ වූ ඒවා නොවේ. එහෙත් දැන් මේ තත්ත්වයත් වේගයෙන් වෙනස් වෙමින් පවතී. ඒ ලෝක ජනතාවගේ අත් එන්නත් කිරීම පදනම් කරගෙනය. කොටින්ම දැන් ලෝකය කැරකෙන්නේ එන්නත් ලෝක ගෝලයේ අක්ෂය කර ගෙනය. දැන් රටකට ඇතුළු වෙද්දි වීසා සේම අත්‍යවශ්‍ය වී ඇත්තේ එන්නත්කරණ කාඩ්පතය.

අපේ රටේද විදේශ විනිමය ඉපැයීමේ කාරණයට මේ එන්නත්කරණය සෘජුව බලපාන තැනට පත්ව තිබේ.

දැන් එන්නත්කරණය සාර්ථක කරගත් රටවල් තම රටවල විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් දොරගුළු හරිමින් සිටියි. ඒ රටවල් තම රටේ දොරගුළු හරින්නේ ෆයිසර් හෝ මොඩර්නා එන්නත්වලට යයි නිර්දේශ කර තිබේ.

එහෙත් චීනයේ සයිනොෆාම් එන්නත ඩෙල්ටා, බීටා නම් නවතම වයිරසයටත් ප්‍රත්‍යක්ෂ බව ඔක්ස්ෆර්ඩ් හා ශ්‍රී ලංකා පරීක්ෂණයකින් හෙළි වූ බව ඊයේ අපගේ ප්‍රධාන පුවත විය. ලංකා ජනතාවගෙන් බහුතරයක් දැනටත් විදගෙන ඇත්තේ ෆයිසර් මොඩර්නා එන්නත් නොව සයිනොෆාම් එන්නතය. එපමණක් නොව බ්‍රිතාන්‍යයේද මිලියන පහක ජනතාව විදගෙන තිබෙන්නේ චීනුන් නිපද වූ සයිනොෆාම් එන්නතය. අපට පමණක් නොව යුරෝපාදී රටවල සංචාරයේ යන බ්‍රිතාන්‍ය ජාතිකයන්ටත් දැන් සයිනොෆාම් එන්නත ප්‍රශ්නයක් වී තිබේ.

කොහොමත් චීනයේ නිපදවූ සයිනොෆාම් එන්නත ලෝක දේශපාලන ප්‍රශ්නයේම කොටසක් බවට පත් කෙරෙන ලකුණු මුලදීම පෙනුණි. චීනයේ නිපදවා චීන ජනතාවගෙන් සෑහෙන පිරිසකට සයිනොෆාම් එන්නත් කළත් එයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණේ නැත. එය අනුමත කිරීමට ප්‍රමාද වීම නිසාම සයිනොෆාම් එන්නත ලෝක දේශපාලනයේම කොටසක් වන බව කාටත් දැනිණි.

කෙසේ වෙතත් දැන් අපට මේ ලෝක දේශපාලනයේ ප්‍රශ්නය විසඳා ගැනීමට කාලයක් නැත. එබඳු හැකියාවක්ද නැත. විදේශ විනිමය ඉහළ නංවා ගැනීම අද අපගේ අංක එකේ වුවමනාව වී තිබේ. ලංකාවේ තේ, රබර්, පොල් හෝ ඇඟලුම් නිෂ්පාදනය ඉහළ නංවා විදේශ විනිමය ඉපැයීමට අපට කාලයක් ගත වෙයි. ඒ සඳහා ඉක්මන් ක්‍රමය වී තිබෙන්නේ ලංකාවට ආ විදේශ ශ්‍රමිකයන් ඉක්මනින් යළි විදේශ රටවලට යාමට අවශ්‍ය සුදුසුකම් සපුරාදීමය. එහෙත් ඔවුන් කඩිනමින් යවා ගත නොහැකි වී තිබෙන්නේ ෆයිසර් එන්නත් කාඩ්පතක් ඔවුන් අත නොතිබීමය.

දැනට ගෙන්වා තිබෙන ෆයිසර් එන්නත් තොගය ලබා දෙන්නේ විදේශගත වන ශිෂ්‍යයන්ටය. ශිෂ්‍යයකු විදේශගත වීම විදේශ විනිමය වැය කිරීමකි. ශ්‍රමිකයකු විදේශගත වීම විදේශ විනිමය ඉපැයීමකි. දැන් දැන් අවශ්‍යතාව වී තිබෙන්නේ ඉක්මන් විදේශ විනිමය ඉපැයීමකි. ඒ සඳහා විදේශගත වීමට පොරකන බලා සිටින පෝලිම ඉක්මන් කරවීම මේ මොහොතේ ප්‍රඥාසම්පන්න කාරණයකි. ඒ නිසා විදේශගත වන ශිෂ්‍යයන්ට ලබා දෙන ෆයිසර් එන්නත විදේශ ගතවන ශ්‍රමිකයන්ටත් ලබා දීම කාලීන අවශ්‍යතාවකි. විදේශවලින් පැමිණි ලක්ෂයක ශ්‍රමික පිරිස පමණක් නොව වාර්ෂිකව විදේශගත වීමට බලාපොරොත්තුවන තවත් ලක්ෂ ගණනක් පෝලිමට එක් වෙමින් සිටිති. මේ පෝලිමට දැනට තිබෙන ෆයිසර් එන්නත කඩිනමින් ලබා දුන්නේ නම් එය විදේශ විනිමය ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීමේ මගක්ද වෙයි.