News

වඳ සැත්කමත් ගිනි ගණන් යයි

වඳ සැත්කමත් ගිනි ගණන් යයි

රජයෙන් සැත්කම් නැවතීමෙන් පෞද්ගලික සායන වලට යන්න වෙලා

රජයේ පශු වෛද්‍ය කාර්යාලවලදී සුනඛයන්ගේ සහ බළලුන්ගේ වඳ සැත්කම් කිරීම් නවතා තිබීම හේතුවෙන් එම වඳ සැත්කම් පෞද්ගලික සත්ත්ව සායන මධ්‍යස්ථාන මගින් කරගැනීමට විශාල මුදලක් වැයවන බව ජනතා පවසති.

සුනඛයන්ගේ සහ බළලුන්ගේ වඳ සැත්කම් කිරීම මීට වසර හතරකට පහකට පමණ පෙර රජයේ පශු වෛද්‍ය කාර්යාල මගින් සිදු කෙරුණි. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් එම වැඩපිළිවෙළ දියත් කෙරුනේ නොමිලේය. එහිදී රජයෙන් පශු වෛද්‍ය කාර්යාලවලට නොමිලේ වඳ සැත්කම් ඖෂධ වර්ග සැපයුණු අතර සතියකට වරක් එම සැත්කම් සිදුකෙරිණි.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස රාජිත සේනාරත්න කටයුතු කරන සමයේ මෙම වඳ සැත්කම් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනුණු අතර ඉන්පසු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ ඖෂධ නිකුත් නොකෙරුණු බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට අදාළ වැඩසටහන පවරා ගත්ත ද එම අමාත්‍යාංශයට ප්‍රමාණවත් පරිදි පශු වෛද්‍යවරුන් නොමැති බව ද පැවසේ.

එම හේතුමත වැඩසටහන නතර වීමෙන් පෞද්ගලික සත්ත්ව සායනවලදී සැත්කමක් සිදුකර ගැනීමට රුපියල් 1500 ත් 3000 ත් අතර මුදලක් වැයකිරීමට සිදුව ඇත.

මේ සම්බන්ධව විමසීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කිහිප විටකදීම උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්ගෙන් විමසීමේ දී කියා සිටියේ රජයේ පශු වෛද්‍ය කාර්යාලවලදී සුනඛයන්ගේ සහ බළලුන්ගේ වඳ සැත්කම් සිදු කෙරෙන බවයි. ඊට යොදා ගන්නා ඖෂධවල මුදල පමණ අය කෙරෙන බවද කීය.

සාලිය කුමාර ගුණසේකර
අනීෂා මානගේ