කතුවැකි

රිෂාර්ඩ් බදුර්දීන් නිවසේ බාලවයස්කාර වහල් සේවය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන්ගේ නිවසේ සිටි බාලවයස්කාරියක පිලිස්සුම් තුවාල ලබා මිය යෑමේ සිදුවීම පිළිබඳ සැක සහිත බව දිනෙන් දින උත්සන්න වෙමින් තිබේ. මෙම දැරිය පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරෙන්නේ මේ මස 03 දාය. ඒ වන විටත් ඇයගේ සිරුරෙන් සියයට හැත්තෑ පහක් පමණ පිලිස්සී තිබූ බව වෛද්‍යවරුන් සඳහන් කළත් ඇය මිය යන තෙක්ම ඇය පිලිස්සීමකට ලක්ව ඇත්තේ කෙසේ දැයි අනාවරණ වූයේ නැත.

කෙනෙකුගේ සිරුරේ සියයට හැත්තෑපහක පමණ ප්‍රමාණයක් පිලිස්සීම අහම්බයකින් සිදුවිය නොහැකිය. කිසිවකු ගිනි තබන්නේ හෝ තමන් විසින්ම ගිනි තබා ගන්නේ නොමැතිනම් තම සිරුරෙන් සියයට හැත්තෑපහක් පිලිස්සෙන තෙක් කිසිවකු බලා සිටින්නේ නැත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ මෙම දැරිය සිය දිවි නසා ගැනීමේ අරමුණෙන් සිය සිරුරට ගිනි තබාගෙන ඇති බවය. කිසිවකුට නොදැනෙන්නට සිය දිවි නසා ගන්නට ක්‍රම ඕනෑතරම් ඇතත් සිරුරට ගිනි තබා ගැනීම කිසිසේත්ම නිවැසියන්ගෙන් සැඟවීමේ හැකියාවක් නැත. එසේ නම් මෙම දැරිය සිය සිරුරට ගිනි තබා ගෙන ඇයගේ සිරුරෙන් සියයට හැත්තෑපහක් පමණම පිච්චී යන තෙක් කිසිවකු මෙම සිදුවීම නොදුටුවේ හෝ ඇයගේ කෑ ගැසීමක් හෝ නොඇසුණේ යැයි පිළිගන්නේ කෙසේද?

බරපතළ පිලිස්සුම් තුවාල සහිතව දින දහයකට වැඩි කාලයක් රෝහලේ සිටි මෙම දැරිය මිය ගියේ පසුගිය බ්‍රහස්පතින්දා (15දා) ය. එහෙත් ඊයේ මෙම සටහන තබන විටත් ඇයගේ හාම්පුතා වූ රිෂාර්ඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා හෝ ඔහුගේ බිරිඳගෙන් මෙම සිදුවීම ගැන ප්‍රශ්න කර තිබුණේ නැත.

දැරියගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් වුවත් බදුර්දීන් යුවළ මෙහිදී බරපතළ වරදක් කර තිබේ. එනම් බාලවයස්කාරියක සේවයේ යොදවා ගැනීමය.

මෙරට නීතියට අනුව සෑම දරුවෙකුම වයස අවුරුදු 16 වන තෙක් රැකියාවක යෙදවීම නීති විරෝධීය. එසේම අවුරුදු 16ක් වන තෙක් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාදීම නීතියෙන්ම අනිවාර්ය කොට තිබේ. ​පොලිස් වාර්තා සඳහන් කරන ආකාරයට මිය ගිය දැරිය බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනවිත් ඇත්තේ වයස අවුරුදු 15යි මාස 11දීය.

නමුත් තවමත් පොලිසිය හෝ ළමයින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඇතැයි කියන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හෝ මේ ගැන අවධානයක් යොමු කර නැත. බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ බාලවයස්කාරිය මෙහෙකාර සේවයේ යෙදවීම, එවැනි දරුවන් දහස් ගණනක් මෙරට සිටින බවට එක් උදාහරණයක් පමණකි. එහෙත් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරනවා තබා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඒ පිළිබඳ ප්‍රකාශයක් හෝ ලබා දුන් බවක් අප දුටුවේ නැත. ඇතැම් විටෙක කවුරුන් හෝ ගොස් මේ පැමිණිල්ල ඉදිරිපත් කරනතුරු සිටිනවා විය හැකිය.

ඕනෑම දේකට බරසර සමාජ න්‍යායන් ඉදිරිපත් කරන සමාජ ක්‍රියාකාරිකයන් නමැති සත්ත්ව කොට්ඨාසය හෝ ජනතාවට හැම දේම ලබා දෙනවා යැයි කියන රාජ්‍ය නොවන සංවිධාන පවා බදුර්දීන් මන්ත්‍රීවරයා බාලවයස්කාරියක මෙහෙකාර සේවයේ යොදවා ගත්තේ කෙසේද? ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහි නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න ගැන ‘‘හ්ම්’’ හඬක් හෝ නගනවා අපට ඇසුණේ නැත.

නිරෝගී මානසික සෞඛ්‍යයෙන් සිටින කිසිවෙක් සිය දිවි නසා ගන්නට කල්පනා කරන්නේ නැත. බදුර්දීන් නිවසේ සිටි බාලවයස්කාරිය ඇත්තෙන්ම සිය දිවි නසා ගත්තා නම් ඇය බරතපළ මානසික පීඩාවකට ලක්ව සිටිය යුතුය. එසේ නම් ඇයව මෙහෙකාර සේවයේ යොදවා ගත් අය ඊට වගකිවයුතු නැද්ද? ඔවුන් මේ දැරියට සැලකුවේ කෙසේදැයි දන්නේ ඔවුන්ය. එය දැන ගැනීමට පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුය.

මියගිය දැරියට වයස අවුරුදු 12දී කාලයේ සිටම ඇයගේ සිරුර තුළට ලිංගික සම්ප්‍රේෂණයක් සිදුව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවෙන් දක්වා ඇතැයි මාධ්‍ය වාර්තා කොට ඇත. කලක් තිස්සේ ඇයට ලිංගික සම්ප්‍රේෂණයක් සිදුව ඇති බවට නිශ්චිත කාලවකවානු සහිතව ඇය මියගිය පසු කියන්නේ කුමන පදනමකින්දැයි අපට නම් වැටහෙන්නේ නැත. මේ කියන කාරණයේ සත්‍යතාවක් තිබිය හැකි නමුත් ඒ බව සොයා ගන්නට දැරිය මියයන තෙක්ම සිටියේ කුමක් නිසාද? මෙම දැරියට බදුර්දීන් නිවසේදී කිසිදු ලිංගික අතවරයක් සිදුවී නැතැයි කියන්නටද? නැතහොත් ඇය බාලවයස්කාරියක යැයි කියන කාරණය වසන් කරන්නටද?

නීතියේ කුමක් සඳහන් වුවත් බාලවයස්කරුවන් සේවයේ යෙදවීම, ඔවුන්ට​ කෲර ලෙස සැලකීම, ලිංගිකව අපහරණය කිරීම ශිෂ්ට සම්පන්න මිනිසකු අතින් කුමන තත්ත්වයක් යටතේ වුවත් සිදු නොවිය යුතු බරපතළ අපරාධයන්ය. සමාජයේ එලෙස හැසිරෙන ඕනෑතරම් අය සිටිය හැකි නමුත් හිටපු ඇමැතිවරයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පක්ෂ නායකයකු අතින් එවැනි වැරදි සිදුවිය හැකිද? රිෂාර්ඩ් බදුර්දීන් යනු නමට හෝ නීති සම්පාදනයට සහභාගි වන තම ජනතාවගේ සුබසිද්ධිය සඳහා පෙනී සිටින අයෙකි. එලෙස නීති සම්පාදනය කරන අයකුම නීතිය උල්ලංඝනය කිරීම සාමාන්‍ය පුද්ගලයෙකු නීතිය උල්ලංඝනය කිරීමට වඩා බරපතළ කාරණයකි.

අපට ප්‍රශ්නය ඇත්තේ පොලිසිය, ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන එලෙස කල්පනා නොකිරීමය. අප නොදන්නවා වූවාට ඊට හේතුවක් තිබෙන්නට පුළුවන. ඒ ඔවුන් රිෂාර්ඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිදුවූ වරද නොව මන්ත්‍රීවරයා ගැන බරපතළව කල්පනා කිරීම විය හැකිය.