කතුවැකි

මොළ සේදු කල ගොවියා රජුන්ට පයින් ගසන්නට බැරි නැත

​මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක කුණ්ඩසාලේ ගොවිකම් විදුහලේ ඉගෙනුම ලැබූ, රටට නිදහස ලැබෙන්නට පෙරත් කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියෙකි. මීහරකා වෙනුවට විදේශයකින් ගෙනා ට්‍රැක්ටරයකින් කුඹුරක් සීසා ඔහුට පෙන්නුවේය. මීහරක් බානකින් දින ගණනාවක් සාන කුඹුරක් ට්‍රැක්ටරයෙන් දෙපැයකදී සී සා පෙන්වූ විදේශීය කෘෂි උපදේශකයන් මී හරකාට වඩා නගුල කොතරම් කාර්යක්ෂම දැයි ඩී.එස්.ගෙන් විමසුවේය. ඩී.එස්. ද ට්‍රැක්ටරයේ වටිනාකම පිළිගත්තේය. එහෙත් ඔහු මෙසේ කීවේය.

‘‘ට්‍රැක්ටරයෙන් හාන්න නම් පුළුවන්. ඒත් අම්බරුවාට වාගේ ඕකට බෙට්ට දාන්න බෑනේ…’’

එසේ කියූ ඩී.එස්. ට්‍රැක්ටරය කුඹුරට දානවාට කැමැති වූයේ නැත.

එහෙත් 1950 වන විට ඇමරිකාවේ හරිත විප්ලවයකට අවශ්‍ය පර්‌යේෂණ කෙරෙමින් තිබුණි. නෝමන් බෝර්ලින් නම් විද්‍යාඥයකුගේ සොයා ගැනීම් පදනම් කර ගනිමින් ඉරිඟු, තිරිඟු සේම පස සරු කිරීමේ නවීන ක්‍රම දියුණු කිරීමේ කාර්ය එවක ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයා වූ රොක්පෙලර්ගේ සමාගම විසින් භාර ගෙන තිබිණ. 1950 අවසාන භාගය වන විට නවීන පොහොර සේම ‘‘Miracle Seeds’’ හෙවත් ආශ්චර්යමත් බීජ නෝමන් බෝර්ලින් විසින් නිෂ්පාදනය කර තිබිණ. ආසියාතික රටවලටද වේගයෙන් මේ නිෂ්පාදන ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් රොක්පෙලර් සමාගම ඉන්දියාවේ පන්ජාබයේ නවීන බීජද, පොහොරද යොදවා වගාව ඇරඹුවේය. පන්ජාබයේ අස්වනු වැඩිවන විට පන්ජාබය හිඟන පාත්‍රයක සිට පාන් කූඩයකට ගෙන ගියේ හරිත විප්ලවයෙන් බව කියැවිණ.

1965 බලයට පැමිණි ඩඩ්ලි සේනානායක ආණ්ඩුවට බ්‍රිතාන්‍යයන් පළමුවැනි වතාවට කෘෂි උපකරණ හා කෘෂි රසායන මිලට ගැනීමට පවුම් මිලියන 20 ක් ණයට දුන්නේය. ඒ මුදලින් ඇමරිකාව නිපදවන කෘෂි උපකරණ හා කෘමිනාශක මිලට ගත යුතු විය. ආණ්ඩුව ගොවිතැන් කිරීමට ණය ගන්නා විට ක්‍රමානුකූලව ගොවියාද ණය අරගෙන ගොවිතැන් කරන තත්ත්වයට පත් වූයේය. ඒවා හැඳින්වූයේ කෘෂි ණය නමිනි. වසර දහස් ගණනක් තිස්සේ අත්තම් ශ්‍රමය යොදාගෙන බිත්තර වී හුවමාරු කර ගෙන අල්ප වියදමකින් කෙත වපුරා බැත ගොඩගත් හෙළ ගොවියාගේ ජීවන රටාව, සමාජ රටාවම සමග වෙනස් විය. ඒ ගොවි ජීවිතය ,ජීවන රටාව, අමුඩය ගැලවූවා සේ ගැලවී යන්නට විය.

මුලින්ම ලංකාවට ගෙනා පොහොර ලංකාවට ආවේණික ගොයමට දමන්නට යෙදිණ. එහෙත් අපේ ගොයම ඒ පොහොර දැමුවාට සරු අස්වනු ගෙනාවේ නැත. එසේ නම් විය යුතුව තිබුණේ අපේ ගොයමට ගැළපෙන පොහොරක් නිපදවීමය. නමුත් සිදුවූයේ අනෙක් පැත්තය. අපේ රටේ කළේ විදේශවලින් ගෙන්වන පොහොරට ගැළපෙන බීජ පිටරටින් ගෙන්වීමය. මේවා හැඳින්වූයේ සරු අස්වැන්නක් දෙන බීජ ප්‍රභේද හැටියටය. නමුත් ඇත්ත කතාව නම් මේවා හැඳින්විය යුත්තේ රසායනික පොහොර ඉහළින්ම උරාගන්නා බීජ ලෙසය. කාලයාගේ ඇවෑමෙන් අපේ වී පිටරට බීජ තරම් ඵල දරන්නේ නෑ කියන මතය ගොවි මනසට ඇතුළු කෙරිණ. ඒ සඳහා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් 1960 දශකයේ ක්‍රියාත්මක විය. ගමයි- පන්සලයි, වැවයි – දාගැබයි ආදී තේමා පාඨ මහාවංසයේ තිබූ ඒවා නොව ඒවා එදා ප්‍රචාරක ආයතන කටට කියැවෙන ආකාරයට හැදූ වෙළෙzඳ ප්‍රචාරක පාඨය. මේ ප්‍රචාරක ව්‍යාපාර කොතරම් ප්‍රබලද යත් අද වන විට ගමයි පන්සලයි, වැවයි දාගැබයි යනු අපේ තිබුණ සංස්කෘතික උරුමයක් බව තුන් හෙළයම සිතති.

ගොජිරි, බජිරි, වෙල්මාරුක්, තුනැස්ස 1960 ට කලින් මේ රට වෙල්වල තිබුණේ නැත. ඒවා ජපාන සමාගම් විසින් යූරියා පොහොර සමග මිශ්‍ර කර එවූ බීජවලින් අපේ වෙළේ පැළ වූ ඒවා බව යූරියා පොහොර ලංකාවට ගෙනා කාලයේ අත්දැකීම් ඇති පැරැන්ණෝ අදත් කියති.

‘‘යූරියා ගැහුවාට පස්සේ ගොයම හැදුණා. ඊළඟ කන්නේ, වෙලේ ජීවිතේට නොතිබුණ කැලෑ ගස් වගයක් වැවිලා තිබුණා.’’

මේවා තුරන් කිරීමට සී සා මඩ කළාට බැරිය. ඒවා තුරන් කිරීමට එම විදේශ සමාගම් විසින්ම තැනූ කෘෂි රසායන ගෙන්වන්නට සිදු විය.
1970 දී මේ හරිත විප්ලවයේ පියා එනම් දෙමුහුන් බීජ කෘෂි රසායන හඳුන්වා දුන් ජේම්ස් ස්කොට් නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහු නොබෙල් සම්මානය ගන්නා විට ලංකාවේ වෙල්වල සිටි ලූලා, මඟුරා, කාවයියා, හුංගා, තිත්තයා සදහටම තුරන් වී තිබිණි. ලංකාවේ ගොවියෝ පිළිකාව, වකුගඩු දියවීම වැනි ජීවිත දානයන්ට සූදානම් වෙමින් හුන්හ.

ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් යුද වැදීම සඳහා දෙමළ තරුණයන් දහ පහළොස් දහසකගේ මොළ සෝදනවාට වඩා මොළ සෝදන්නට එල්ටීටීඊයට බැරි විය. එහෙත් මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නියැළී සිටින රජයේ ගොවි නියාමකයාගේ පටන් ගොවි සංවිධාන නියමුවන්ගේද කෘෂි ද්‍රව්‍ය විකුණන වෙළෙඳසල් හිමියන්ද ඇතුළු ලක්ෂ ගණනකගේ මොළ කෘෂි රසායන සහ පොහොර සමාගම් සෝදා අවසන්ය. වසර දහස් ගණනක් ගොවිතැනින් ජීවත් වුවද, වසර 4000 කටත් වඩා වී පැළ වුණා වූද මේ බිමේ ජාත්‍යන්තරයට ගොවිතැන ගැන කියා දෙන්නේ කෘෂි රසායන සමාගම්ය. ගමේ ගොවි නියාමකගෙන් ගොයම් ගැන කාරණාවක් ඇසුවොත් ඔහු උපදෙස් දෙන්නේ හන්දියේ කඩෙන් අසවල් නාශකය ගන්නා ලෙසටය. කෘෂිකර්මය වෙනුවෙන් පනවා පිහිටුවා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටද උගන්වා ඇත්තේ මේ හරිත විප්ලවයෙන් ජාතක වූ සමාගම්ය.

එදා මහින්ද චින්තනය යටතේ පොහොර මිටිය රුපියල් 350 ට දෙන්නට තීන්දු කෙරිණ. මෙදා සෞභාග්‍යයේ දැක්ම යටතේ පොහොර නිකම්ම දෙන්නට තීන්දු කෙරිණ. ඒ දෙකෙන්ම ගොවියාට ලැබුණේ රසායනික පොහොරය. නිකං දෙන තරමට පොහොරද මහා පරිමාණයෙන් පොළොවට වැටිණ.

රසායන පොහොරට විකල්පයක් වශයෙන් මේ රටේ නිපදවන කොම්පොස්ට් පොහොර කවදාවත් ගොවියාට නිකං දුන්නේ නැත. නිකං නුදුන්නා පමණක් නොව රසායන පෝර සමාගම් ඒවා දෙන්නට ඉඩ දුන්නේද නැත. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර දීමට සමාගම් දෙකක් පිහිටුවා තිබේ. ඒ ලක්පොහොර හා කොමර්ෂල් පොහොර සමාගම්ය. ඒ දෙකෙන්ම ගොවියාට දෙන්නේ රසායන පොහොරය. එක සමාගමක් කාබනික පොහොර දෙන්න වෙන් වෙන්න යයි රජය උපදෙස් දුන් වහාම එම සමාගම ස්ට්‍රයික් කළහ. ඒ කොම්පෝස්ට් පොහොර බෙදන්නට බැරියැයි කියමිනි. පොහොර සමාගම් මේරට කොතරම් තදින් ආක්‍රමණය කර තිබේ දැයි මෙයින් පෙනේ.

ගෝඨාභය රාජපක්ෂ පොහොර සහ කෘමි නාශක භාවිතය වළක්වන්න නතර කරන්න හදන්නේ එබඳු මොළ සේදූ රටකය. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වුවත් මොළ සේදූ කල ගොවියා වුවද රජ්ජුරුවන්ට පයින් ගහන්නට ඉඩ තිබෙන බව තේරුම් ගත යුතුය.