Uncategorized

මෙරට පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික මට්ටමේ වැඩසටහන වැදගත් සන්ධිස්ථානයකට පැමිණෙමින්

මෙරට පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික මට්ටමේ වැඩසටහන වැදගත් සන්ධිස්ථානයකට පැමිණෙමින් බැංකුව විසින් සිය 200 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය මේ සතියේදී විවෘත කරන ලදී. කොමර්ෂල් බැංකුව විසින් සියවස සමරන මේ වසරේදී මෙම කඩඉමට පැමිණීමට හැකිවීම කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.

මෙම අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය මාතර ජනාධිපති විද්‍යාලයේ බැංකුව විසින් ස්ථාපිත කර ඇති අතර මෙයට සමගාමීව මෙම පාසලට මෙරට ප්‍රමුඛතම පෞද්ගලික වාණිජ බැංකුව විසින් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය) පන්ති කාමරයක්ද ප්‍රදානය කරන ලදි.

මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා විසින් විවෘත කළ අතර එම අවස්ථාවට බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ භාරකරුවන් සහභාගී විය.
තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 200ක් පරිත්‍යාග කිරීම සිදුකරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ ආයතනික සමාජ සත්කාරක භාරය විසින් බැංකුවේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේය. බැංකුව විසින් මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර දිවයින පුරා විසිරී තිබෙන පාසල් සහ ආයතනවලට ප්‍රදානය කර තිබෙන අතර පරිගණක සාක්ෂරතාව නැංවීම සහ සිසුන්ගේ ඩිජිටල් ඉගෙනුම් අවශ්‍යතාවන් සපුරාලීමට එයින් අපේක්ෂා කර තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන්වලදී ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය නැංවීම සඳහා වැඩිම දායකත්වයක් දක්වයි. මීට අමතරව මේ වනවිට දිවයිනේ පාසල් 65 ක ක්‍රියාත්මක වන රජයේ සහ පෞද්ගලික අංශයේ ‘ස්මාර්ට් ස්කූල්’ ව්‍යාපෘතියේ පාර්ශ්වකරුවෙකු ලෙසද බැංකුව කටයුතු කරයි. එසේම, බැංකුව විසින් සියවස සැමරීම සඳහා STEM විෂය ධාරාවන් උගන්වන ස්මාර්ට් පන්ති කාමර 100 ක් ගොඩනැගීමේ වැඩසටහනකටද සහයෝගය දක්වන අතර පාසල්වල ගණිත විද්‍යාගාර ඇරඹීම සඳහාද අරමුදල් සපයයි. මීට අමතරව, උසස් අධ්‍යාපනය සඳහා වරම් නොලබන සිසුන් වෙත වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ අවස්ථාවන් පුළුල් කිරීමටද බැංකුව කටයුතු කර තිබේ. ශ්‍රී ලාංකේය සිසු දරුවන්ට ගෝලීය දැනුම ලබාදීම සඳහා ‘සිප්නැණ’ නමින් අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවියක්ද බැංකුව විසින් නිර්මාණය කර ඇත.