Uncategorized

මැලිබන් ආයතනය Brand Excellence සම්මානයෙන් Best Brand Awards උළෙලේදී පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, පසුගියදා පැවැති 2020 Sri Lanka Best Brand සම්මාන උළෙලේදී FMCG කාණ්ඩයේ ය‍ටතේ සන්නාම විශිෂ්ටත්ව (Brand Excellence) සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. අතථ්‍ය (Virtual) ක්‍රමයට 2020 නොවැම්බර් 24 වන දින පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ, ගෝලීය විධායක ජාලයක් ලෙස සැලකෙන CMO Asia විසිනි.

2020 වසරේදී සමාගම් හා ආයතන විසින් පෙන්නුම් කරන ලද අරමුණු, නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය, ක්‍රමෝපාය සහ පැහැදිලි ලෙස ළඟා කරගන්නා ලද ප්‍රතිඵල වැනි සාධක සැලකිල්ලට ගනිමින් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවමින්, රටේ වඩාත්ම ගෞරවය දිනූ බිස්කට් සන්නාමය බවට පත්වීම සඳහා තමන් දරන උත්සාහයන් සහ ඒවායෙහි ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට මෙමගින් මැලිබන් සමාගමට අගනා අවස්ථාවක් උදාවිය.

වසර 70 කට අධික වර්ණවත් ඉතිහාසයක් හිමි මැලිබන් සමාගම දශක ගණනාවක් තිස්සේ මෙරට පාරිභෝගික පරම්පරා කිහිපයකම හදවත් දිනාගැනීමට සමත් වී ඇත. නව පරපුරේ රුචිකත්වයන්ට වඩාත් ගැළපෙන ආකාරයට, විශේෂ ක්‍රමෝපායික පියවර රැසක් සමගින්, තම සුපුරුදු නිෂ්පාදන එකතුවෙන් ඔබ්බට ගොස් විශේෂ නිෂ්පාදන කිහිපයක් නැවත හඳුන්වා දීමට සමාගම පසුගිය කාලය තුළ කටයුතු කළේ ය.

මෙම ක්‍රමෝපායික පියවරවල සාර්ථකත්වය නිසා මේ ආකාරයට සන්නාම විශිෂ්ටත්ව සම්මානයකින් පිදුම් ලැබීමට මැලිබන් සමාගමට හැකිවී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පුරෝගාමී බිස්කට් නිෂ්පාදකයා වන මැලිබන්, මෙරට සන්නාමකරණ හා අලෙවිකරණ ක්ෂේත්‍රයට කැපීපෙනෙන දායකත්වයන් දැක්වූ අනෙකුත් ප්‍රමුඛතම සමාගම් හා ආයතන අතර ඉහළින්ම සිටී.