විශේෂාංග

මධුෂ් දුන් දානයට පින් නැතිද?

මෙරට පාතලයේ වැඩිම කතාබහට ලක්වන චරිතයක් වන මාකඳුරේ මධුෂ් නම් තැනැත්තා අධාර්මිකව උපායගත් දෙයින් පන්සල් තනවා, දානමය කටයුතු ආදියද කර ඇති බවට ඔහු සම්බන්ධයෙන් පසුගිය දිනවල පැතිර ගිය පුවත් අතර කියැවුණි.

හොඳයි, මධුෂ්ලාට පිං කම් කරන්නට බැරිද?
මධුෂ් වැනි තැනැත්තන් විසින් දෙන දානයට ආනිශංස නොමැතිද? නැතිනම් ඒවා

ආනිශංසමය වශයෙන් අඩු හෙවත් අල්පානිශංසද?
ඔබ එකවර පිළිගැනීමට අකමැති විය හැක. නැතිනම් එය එසේ වන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක්ද පැනනැගිය හැක. මධුෂ් විසින් මුදල් හම්බකරගත් ආකාරය කුමක් වුවත්, එම මුදල් යොදා ඔහු දෙන දානය මහත්ඵල මහත් ආනිශංස විය හැකි බව ඔබ දන්නේද?
මජ්ජිම නිකායේ, දක්ඛිණ විභංග සූත්‍රයේදී ඒ බව පැහැදිලිව දක්වා තිබේ. ඒ මෙසේය.

‘දායකතෝ විසුජ්ජති නෝ පටිග්හකතෝ’
පටිග්ගාහකතෝ විසුජ්ජති නෝ දායකතෝ
නේවදායකතෝ විසුජ්ජති නෝ පටිග්ගාහකතෝ
දායක තෝ තේව විසුජ්ජති පටිග්ඝාහක තෝච’

එම ගථා පාඨය පාදක කරගෙන සිදුකරනු ලබන විග්‍රහයට අනුව , දානය දෙන තැනැත්තා හෙවත් දායකයා ද ප්‍රතිග්‍රාහකයා හෙවත් එම දානය ලබන්නා ද යන දෙදෙනාම සිල්වත් නම් එම දානය මහත්ඵලය. මහත් ආනිශංස සහිතය. දායකයා ද ප්‍රතිගාහකයා ද යන දෙදෙනාම දුසිල්වත් නම් එම දානයේ විපාක ඇත. නමුත් මහත්ඵල මහානිශංස නැත. එනම් අල්ප ආනිශංස සහිතය. අල්ප ආනිශංස යනු එය ආත්ම දාහක් දෙදහක් ආදී කලක් යනතුරු පමණක් විපාක දෙන දේය. මහත්ඵල මහත් ආනිශංස යනු කල්ප අසංඛ්‍යෙය ගණන් විපාක දෙන දේය.

මේ ආකාරයෙන් කල්ප ගණන් විපාක ලැබෙන මහත්ඵල මහත් ආනිශංස පිනක් කරගැනීම උදෙසා දායකයා සහ ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාම සිල්වත් විය යුතු යැයි නොකියැවේ.
දානය පිරිනමන්නා සිල්වත් නම් එය පිළිගන්නා තැනැත්තා දුසිල්වත් වුවද, දායකයා සිල්වත් වූ පමණින් එය මහත්ඵල සහිත දානයක් බවට පත්වේ. එසේම ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම්, දායකයා දුසිල්වත් වුවද, ප්‍රතිග්‍රාහකයා සිල්වත් වූ පමණින් එම දානය මහත්ඵල මහත් ආනිශංස සහිත වේ.

ඒ අනුව මධුෂ්ලා වැනි අයගේ ශීලය මෙහිදී අදාළ නොවේ. ඔවුන් උපයා සපයාගත්තේ ශීලයක නොපිහිටා විය හැක. නමුත් ඒ උපයාසපයාගත් දේ දානයක් කර පූජා කිරීමේදී එය පිළිගැන්වූවේ සිල්වතෙකු උදෙසා නම් මධුෂ්ලාටද කල්ප අසංඛ්‍යයිය ගණන් එහි ආනිශංස හිමිය.

මෙහිදී දායකයා එය පිරිනමන්නේ අවම තරමේ සිතේ පැහැදීමවත් නොමැතිව විය හැක. නමුත් එය පිරිනමන්නේ සිල්වතාට නම්, එහි මහත්ඵල මහත් ආනිශංස එකී දායකයා වෙත ඒම කිසිවෙකුට වැළකිය නොහැකිය.

‘යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං
අධම්මේන ලද්දා
අප්පසන්න චිත්තෝ
අනබිසද්දහං කම්මඵලං උලරං
සා දක්ඛිණා පටිග්ඝාහකතෝ විසුජ්ජති’

මෙම ගාථා පාඨයට අනුව, යමෙක් දුස්සීලයෙන් යුතුව, අධාර්මිකව සොයාගත් දෙයක්, අප්‍රසන්න සිතින් යුක්තව කර්මය කර්මඵලය ඇදහීමෙන්ද තොරව, නමුත් ශීලවන්තයන් උදෙසා දන්දෙනවා නම් එම ප්‍රතිග්‍රාහකයාගේ ශීලවන්ත බව හමුවේ, දානය පිරිනමන්නා දුසිල්වත්වද, එය අධාර්මික උපයාගැනීමක්ද, එය අපැහැදීමෙන් පිළිගැන්වුවද, කර්මය කර්මඵල ගැන ඔහුට අල්පමාත්‍ර හෝ හැඟීමක් නොමැතිද ඒ කිසිවක් අදාළ නොවී ඒ තැනැත්තා දුන් දානය මහත්ඵල මහත් ආනිශංස වේ. බලන්න සිල්වතුගේ ඇති වටිනාකම මහත. එහි මේ සමාජයට ඇති ආශිර්වාදය….

පාතාල ජීවිතයක් යනු දුස්සීල දිවිපෙවෙතක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවන් අයෙකු මුදල් උපයන්නේ අධාර්මික මාර්ගවලින් බවද පැහැදිලිය. කර්මය කර්මඵල ඇදහීමක් ඔවුන් තුළ වේ නම් අපරාධ ජීවිතයක් ඔවුහු තෝරා නොගනිති. නමුත් මේ උපයාගත් දේ දානය නමැති කාරණාව තුළදී ‘කළු සල්ලි’ ලෙසින් හංවඩු ගැහෙන්නේ නැත. එබැවින් අධාර්මිකව උපයාගත් දෙයින් දෙන දානය ‘කළු සල්ලි සුදු කිරීමේ’ මාර්ගයක් ලෙසින් ඔබට හැඟී යා හැක. නමුත් දහමට අනුව ‘කළු’ චේතනාවේ විපාකය කළුමය. ‘සුදු චේතනවේ’ විපාකය සුදුමය. දාන චේතනාව කිසිවිටෙකත් ‘කළු’ නැත. එබැවින් අල්පානිශංස වේවා මහානිශංස වේවා එහි විපාකය නරක නැත.

නමුත් එසේ දන් දුන්නද, ඒ දානය උදෙසා උපයාගත් මාර්ගය අධාර්මික බැවින් එම අධාර්මික හැසිරීමට අදාළ විපාකද ඒ අයුරින්ම ඔහු පසුපස වැටී තිබේ. මේ දහම තුළ හොඳ සහ නරක මනාව බෙදා වෙන්කොට දක්වා ඇත. ඒ අනුව ක්‍රියාව වශයෙන් කළු සහ සුදු යන දෙකක් තිබුණිද චරිත වශයෙන් පුද්ගලයන් කළු හෝ සුදු කියා බෙදීමක් මේ දහමේ නැත්තේය.

එදා ලිච්ඡවී රජ දරුවන්ගෙන් දානය සඳහා ලද ආරාධනාව පසෙකලා බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡවීන්ට පළමුව කරන ලද අම්බපාලියගේ දාන ආරාධනාව පිළිගත්තේය. අම්බපාලිය නම් ගණිකාව විසින් සාදා පූජා කළ ආරාමය බුදුරජාණන්වහන්සේ පිළිගත්තේය. ඇය ඒ සඳහා යෙදවූයේ ගණිකා වෘත්තියෙන් ඉපැයූ මුදල් ද යන්න අදාළ කරගත්තේ නැත. අජාසත් රජතුමා, පළමු ධර්ම සංගායනාවද ඇතුළුව ශාසනය උදෙසා බොහෝ දේ සිදු කළේය. නමුත් ඔහු ඒ සියල්ල සිදුකළේ සිය පියා මරවා ලැබූ රාජ්‍යත්වයේ ආශිර්වාදයෙන් යැයි ඔහු වෙතින් ශාසනයට ලැබුණු අනුග්‍රහය ප්‍රතික්‍ෂේප වූයේ නැත. එදා බුදුන් ඇසුරට පත් බොහෝ බමුණු චරිතවල කියැවෙන්නේ බුදුරජාණන් ඇසුරේ සධාර්මිකව ගෙවූ කාලය ගැන පමණි. නමුත් බොහෝ බමුණු ජීවන චර්යාවන් අධාර්මික විය. ඒ අනුව බුදු ඇසුරට ප්‍රථම ඔවුන් උපයා සපයාගත් දේ එසේ උපයාගත්තේ අධාර්මික මාර්ගවලින් විය හැක. නමුත් ඔවුන්ගේ දානය ප්‍රතික්‍ෂේප වූයේ නැත. පුද්ගලයාගේ අතීත හෝ අනාගත ක්‍රියාව නොව, කර්මයට අදාළ වන්නේ ඒ මොහොතේ චේතනාවයි. එබැවින් දානමය චේතනාවකට ‘සම්බාධක පැනවීමක්’ කර්මය හෝ ධර්මය තුළ නැත.

වරෙක උත්පලවණ්ණා තෙරණිය සමාපත්ති සුවයෙන් වනයේ වැඩසිටියදී දඩයමේ ගොස් පැමිණෙන මස් වැද්දකු තෙරණියගේ ප්‍රසන්න ස්වභාවය දැක පැහැදෙයි. තෙරණියගේ භාවනාවට බාධා නොකරන මේ මස් වැද්දා, දඩයම් කළ මුවකුගෙ ගාතයක් තෙරණිය ඉදිරියේ එල්ලා සිතින් එය ඇයට පූජා කර යන්නට යයි. සමාපත්තියෙන් නැගී සිටින තෙරණිය තමන් ඉදිරියේ මස් ගාතයක් එල්ලෙනු ඍද්ධියෙන් ආවර්ජනය කර බලද්දී එය මස් වැද්දාගේ දානයක් බව දැනගනියි. පසුව මේ රහත් තෙරණිය එම මස් ගාතය ඔතාගෙන බුදුන් වැඩසිටි ආරාමයට ඍද්ධියෙන් වැඩමකොට මහා සංඝරත්නය උදෙසා එය ව්‍යංජනයක් කර පිරිනමන මෙන් අයෙකුට භාරදෙයි. ‘අහෝ, මේ වැද්දකු විසින් අමු අමුවේ මරා දැමූ සතකුගේ මස්ය’ කියා එම රහත් තෙරණිය විසින් එම දානය බැහැර කළේ නැත. අවසානයේ මස් වැද්දාගේ දාන චේතනාව මහත්ඵල මහත් ආනිශංස විය.

මජ්ජිම නිකාය අට්ඨකථාවේ තැනක මෙසේ සඳහන් වෙයි. එකල කැලණි ගඟ අසබඩ කෙවුලකු හෙවත් මසුන් මරන්නකු විය. මේ මසුන් මරන්නා තමා මරාගත් මසුන්ගෙන් තැනූ ව්‍යංජයනයක් දීඝතුම්ම නම් රහතන් වහන්සේට පූජා කළේය. මරණාසන්න මොහොතේදී මසුන් මැරූ පාප සිත් අතුරින් මේ දානය ඔහුට මතක් විය. ‘දීඝතුම්ම හාමුදුරුවන්ට දුන් දානය, මාව බේරගන්න’ යැයි මුවින් පිටව අවසන් හුස්ම හෙළූ මේ මසුන් මරන්නා සුගතිගාමී විය. එදා මේ තැනැත්තා රහතන් වහන්සේට දුන් දානයට වස්තුව වූයේ ප්‍රාණ ඝාතයෙන් සපයාගත් දෙයක් වුවද , ශිල්වතකු උදෙසා දුන් එකී දානය මේ මසුන් මරන්නාට මහත් ආනිශංස පිණිස හේතුවිය.

එබැවින් මධුෂ්ලාගේ දානයේදී වැදගත් වන්නේ එය ඔහු විසින් සපයාගත් ආකාරය නොව, දානය යන ක්‍රියාවත්, එහි ප්‍රතිග්‍රාහකයාගේ ශීලයත් පමණි. එය ඔහු විසින් උපයාගත් ආකාරයට අදාළ විපාකය ඔහු සතු සේම එය සද්කටයුත්තක් උදෙසා යෙදුවේ නම් එයට අදාළ යහපත් විපාකයක්ද ඇත. යමකු විසින් කළ දෙය හොඳ සහ නරක ලෙසින් තරාදියේ දෙපසට දැමූ විට බර වැඩි පැත්තට අනුව භවයේ ප්‍රතිවිපාක විඳීමට සිදුවෙතැයි ඔබට සිතෙනු ඇත. නමුත් එසේ නොවේ. කර්ම විෂය අචින්ත්‍යය. මධුෂ් වැනි මිනිසුන් විසින් ආනන්තරීය පාප කර්මය සිදුකර නොමැතිනනම්, මාර්ගඵල ලාභියෙක් ලෙසින් මරණයට පත්වීමේ මහඟු අවස්ථාව පවා ඒ තැනැත්තා ඉදිරියේ තවමත් විවෘතය. ඒ කෙසේ දැයි අපි ලබන සතියේ සාකච්ඡා කරමු.

නෙළුවේ විමලශාන්ත හිමියන් සමග සාකච්ඡාවක් ඇසුරිනි