කතුවැකි

බිලියන තුනක මිදි ඇපල් පෙයාර්ස් කමු

මේ දේශීය ආර්ථිකයක් ගොඩ නගන්නට රජය අධිෂ්ඨාන සහගතව කැපවන කාලයකි. රජයට මතු නොව මුළු මහත් ජාතියටම දේශීය ආර්ථිකයක් ගොඩ නැගීමේ වුවමනාව කොවිඩ් 19 වසංගතය ගෙනැවිත් ඇත්තේය.

අතීතයේ කළ ආර්ථික පාපකර්මයන්ද කොරෝනාවට රට වැසීමට සිදුවීම නිසාද දැන් අප සතු විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන හතරකට ආසන්නය. එයින් එකක් වැය වන්නේ විදේශ ණය ගෙවීමටය. දැන් විදේශ සංචිත ඩොලර් බිලියන ගණන ගැනීමට එක අතක ඇඟිලි ගණනද වැඩිය.

මේ අර්බුදය වේලාසන තේරුම් ගත් ආණ්ඩුව මුලදීම සුඛෝපභෝගී වාහන ආනයනය නතර කළේය. එය විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම සේම මෙරට ජන මනස ගැන සවිඥානිකව ගත් තීන්දුවකි. ඒ වාහන තහනමෙන් මෙරට පොදු ජනතාවගේ ප්‍රවාහනයට ගැටලුවක් ඇති වූයේ නැත. වාහන දියව් කියා පාරට බැස්සෙකුද නැත.

කහ ගෙන්වීම නතර කිරීම මුලදී තරමක ආන්දෝලනයක් ඇති කළේය. ඒ කහ පාට නැතිව හොදි කන්න බෑ, කෝවිල්වලට ඉසින්නට කහ දියර නෑ ආදී වශයෙනි. එහෙත් එක කන්නෙක කහ බැස්සාට පසු ඒ විරෝධයද නතර විණ. සෝයා තෙල් ගෙන්වීම නතර කිරීමෙන් පටන් ගෙන දැන් රසායන පොහොර ගෙන්වීම නතර කිරීම දක්වා බරපතළ තීන්දු ආණ්ඩුව විසින් ගෙන ඇත්තේය. මෙයින් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම රට තුළ ආන්දෝලනයක් මතු කර තිබුණද එයින් මහ පොළොවට වෙන සහනය ගැන ජාතිය දැනුවත්ය. වාහන, පොහොර, කහ, සෝයා තෙල්, රසායනික පොහොර ආදී දෑ නතර කෙරුණද මේවා තරමටවත් අවශ්‍ය නොවන දෑ තවමත් විදේශයන්ගෙන් ගෙන්වන බව පසුගිය ’අරුණ’ පුවත්පතක අපි පෙන්වා දුන්නෙමු.

ඒවා කිහිපයක් වන්නේ ඇපල්, මිදි සහ පෙයාර්ස්ය.

ගෙවුණ මාස හයක කාලය තුළ මෙරටට ඇපල්, කිලෝ විසි පන් ලක්ෂයකට වඩා ගෙන්වා ඇත. මිදි කිලෝ අසූ පන්ලක්ෂයකට වැඩිය පෙයාර්ස් කිලෝ ගණන එක් ලක්ෂ හැත්තෑ පන් දහසකට වැඩිය.

ඒ අනුව පිටරටින් මිදි ගෙන්වීමට රුපියල් කෝටි එකසිය දහඅටක්ද ඇපල් ගෙන්වීමට කෝටි එකසිය අසූ හතරක් ද පෙයාර්ස් සඳහා කෝටි 49කට අධික මුදලක්ද වියදම් කර තිබේ. මිදි, ඇපල් සහ පෙයාර්ස් සඳහා පමණක් කෝටි 308කට වඩා විදේශ විනිමය වැය කර ඇත.

ඒ අනුව ගෙවුණ හය මාසයට මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන තුනකි.

සැබවින්ම අප ඉන්නා තත්ත්වය යටතේ මෙබදු දෑට විදේශ විනිමය වැය කළ යුතුද?

අද නොව මීට සිය වසකට පමණ ඈත යුගයේද මෙරට ජාතික නායකයන් මෙබඳු දේට ජාතික ධනය වැය කරනවාට දැක්වූයේ විරෝධයකි.

1916 මහා වියවුල නම් නවකතාවක් ලියන පියදාස සිරිසේන එදා රෙදිපිළි රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් ගෙනෙන බවත් මත්පැන්වලට රුපියල් දස ලක්ෂ තිස් අටදහසක් වැය කරන බවත් එය ජාතියේ අඥානකමක් බවත් කීවේය.

අනගාරික ධර්මපාලතුමා 1921 ලංකාවට සුරුට්ටු, සිගරැට් ගෙන්වීමට රුපියල් තුන්ලක්ෂ පනස්දාහක් වැය වෙන බවත් බ්‍රැන්ඩි ගෙන්වීමට රුපියල් විසිපන්දහසක් වැය වෙන බවත් කියා එය සිංහලයාගේ අඥානකම බවත් කීවේය. පොල්, පුවක් විකුණා ලැබෙන ආදායම මෙබඳු දේ රටින් ගෙන එන්නට වැය කරන්නට සිදුවීම ගැන එතුමා කනස්සල්ල පළ කළේය. කුමාරතුංග මුනිදාසයන් තවත් ඔබ්බට ගොස් විදේශවලින් පළක් නැති දෑ ගෙන්වීම රටේ පරිහානියට හේතුවන බව කීවේය. විස්කි බ්‍රැන්ඩිවලට මුදල් රට යැවීම නවතා පොල් රා වලින් එබඳු මද්‍යපානයක් තනා ගැනීමේ යහපත අවධාරණය කළේ දෑ හිතැති ආර්ථික දැක්මකිනි.

මේ ජාතිකවාදීන් මතු නොව වාමාංශිකයෝද විදේශවලින් අනවශ්‍ය දෑ ගෙන්වීම ගැන විරෝධය පළ කළහ. සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ උඩකැන්දවල සරණංකර හිමි 1928 දී ලංකාවට සුවඳ පැන්, ටයි, කොලර්, බොත්තම් ආදිය ගෙන්වා රුපියල් තිස් දෙලක්ෂයකට වඩා විනාශ කිරීම කාලකණ්ණිකමක් බව කීවේය. සිය වසකටත් වඩා වැඩි කාලයක සිට විදේශවලින් මෙබඳු දෑ ගෙන්වනවාට දැඩි විරෝධයක් දුර දැක්මක් ඇති ජනතා නායකයන්ට තිබිණ. අද අප පැමිණ ඇත්තේ එහි කූඨ ප්‍රාප්ති යුගයටය.

විස්කි බ්‍රැන්ඩිද බොත්තම්, ටයි ගෙන්වා ජාතික ධනය විදේශවලට ඇදෙන්නට විරෝධය පෑවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදීය. එකල පාලකයන් බ්‍රිතාන්‍යයන් වූ නිසා විදේශ විනිමය ප්‍රශ්නය ඔවුන්ගේ එකක් වුවද අප නායකයන් කතා කළේ මෙයින් දැයේ ස්වාධීනත්වය අහිමි වන බව සිතූ නිසාය. එසේම එදා අද මෙන් අයවැය හිඟයක් ගෙවුම් ශේෂ හිඟයක් ලංකාවේ තිබුණේ නැත. එදා වැය ඇස්තමේන්තුවට වඩා අය ඇස්තමේන්තුව ඉහළ අගයක් ගත්තේය.

එහෙත් අද අප ඉන්නේ සපුරා එහි අනෙක් කෙළවරේය.

එසේ තිබියදීත් තවමත් සුවඳ විලවුන්වල සිට මිදි ගෙඩිය දක්වා දෑ විදේශවලින් ගෙන්වා වෙළෙඳපොළේ වෙයි. අනගාරික ධර්මපාලතුමා 1922 සිංහල බෞද්ධයා පත්‍රයට කතුවැකියක් ලියා කීවේ උදලු පිහියා කැති ආදී සියල්ලම විදේශයන්ගෙන් ගෙන්වන බවයි. අදද සුපර් මාර්කට්ටුවට ගියොත් විදේශවලින් ගෙන්වන පිහියා ඇතුළු දෑද දැක ගත හැකිය.

එදා ධර්මපාලතුමා වැනි උතුමකු කී දේ කම්පා වූ දේ සියවසකට පසු අපටද යළි යළි කියන්නට වීම කාලකණ්ණිකමක් නොවේද?