කතුවැකි

කතුවැකිය

බලය බෙදා ලොකු අයියාට වෙච්ච දෙයක්

​කොරෝනා ලංකාවට ආ දවස්වල අප බැන්නේ චීනයටය. චීන ආපනශාලා මගහැරියා පමණක් නොව ලංකාවේ ජීවත් වූ චීන්නුද පිළිකුල් කළෙමු.දෙවැනි කොරෝනා රැල්ල මතු වූයේ ගම්පහෙනි. එවිට ඇඟලුම් සේවකයන් අතරින් කොරෝනා රැල්ලක් ඇරඹීමට මුල් වූ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයට දොස් නැගුවෙමු.

දැන් කොරෝනා තුන්වැනි රැල්ල ඇවිත් තිබේ. මේ තුන්වැනි රැල්ල ඇරඹීම ගැන සාප කරන්නට ආයතනයක්, පුද්ගලයෙක් අපට සොයාගත නොහැක. දැන් අපි අපටම සාප කර ගන්නට පටන් ගෙන ඇත්තෙමු. මක් නිසාද යත් තුන්වන කොරෝනා රැල්ලක් ගැන සෞඛ්‍ය බලධාරින් අවුරුදු සමය ආරම්භයේ කළ අනතුරු ඇඟවීම අප ගණන් නොගත් නිසාය. එහෙත් අවසානයේ අපට සාප කර ගන්නට වෙන්නේ සිංහල අවුරුද්ද නොසැලකිලිමත් ලෙස කෑම වෙනුවෙන් නොවේ. අප අපටම සාපය කරගන්නට වෙන්නේ මේ ඛේදවාචකය හමුවේ අප එක් නොවීම නිසාය.

ඉන්දියාව එයට අපට ඇති නරකම උදාහරණයයි.

ඉන්දියාවේ කොරෝනා වැලඳුණු රෝගීන් මැරෙන්නේ මහමගය. එරට දර සෑ අතර පරතරය මීටරයක් තියන්නටත් බැරි තරමය. ඉන්දියාව මේ තත්ත්වයට වැටුණේ ඇයිදැයි සොයා බැලීම ඒ දර සෑ උණුසුම ද දැනෙන රටක වෙසෙන අයගේ වගකීමය.

ඉන්දියාව න්‍යෂ්ටික බලවතකුගේ තත්ත්වයට ගොඩනැගෙමින් තිබෙන රටකි. මේ සියවසේ ආසියාවේ නැගිටීම සිදුවන්නේ චීනය සේම ඉන්දියාවේද නැගිටීම මත බව කියවෙයි. ඉන්දියාව ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ කොතරම් ඉදිරියට ගොස් තිබේද යත් කොරෝනා සඳහා සොයා ගත් ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවීමේ වගකීම පැවරුණේද එරටටය. ඉන්දියාවේ සුපිරි ධනවතා වන අම්බානිගේ වාර්ෂික ආදායම ලංකාවේ ජාතික ආදායමෙන් 1/5ක් පමණය.
ඉන්දියාවේ උපන් බ්‍රහ්මදත්ත රජ සමයේ ජාතක කතාවල හැටියට වසංගතයක් ආ විට බරණැස සිටුවරු පලා යන්නේ ගෙයි බිත්තියක් බිඳ එහි සිදුරකිනි. නූතනයේ ඉන්දියාවේ ධන කුවේරයන් කො​රෝනා තුන්වැනි රැල්ල ආ විට රටින් පලා යන්නේ තම පෞද්ගලික ජෙට් යානාවලිනි.

ඉන්දියාව මෙබඳු තත්ත්වයකට පත් වූයේ එරට තිබෙන දේශපාලන බලය බෙදීම නිසා බව තතු දත් අයගේ මතයය.

ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ වගකීම තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන්ටය. මධ්‍යම ආණ්ඩුව කරවන දේශපාලන පක්ෂයටම ප්‍රාන්ත ආණ්ඩුවේ පාලන බලය හිමිව තිබේ නම් තත්ත්වය පාලනය කර ගැනීමට මධ්‍යම රජයේ සහය ලැබේ. එසේ නැති ප්‍රාන්තවලට ක්‍රියා කරන්නට වෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුවේ ස්වාධීන තීන්දු තීරණවලට අනුවය. ඇතැම් විට කොවිඩ් මර්දනයට එන මධ්‍යම රජයේ පොලිස් බළඇණි ආපසු හරවා යැවීමටද ප්‍රාන්ත ආණ්ඩුවලට පුළුවන. කෙසේ වෙතත් මධ්‍යම රජයේ මේ වගකීම් විරහිත ක්‍රියාකාරීත්වයට එරෙහිව ප්‍රාන්ත ආණ්ඩු අධිකරණ තීන්දු ප්‍රකාශයට පත්කර ඇත. ඉන්දියාවේ වාසනාවට එම ප්‍රාන්ත ආණ්ඩුවල උසාවි දුන් තීන්දු ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඔක්සිජන් හිඟ නම් හිඟා කා හෝ සොරකම් කර ජනතාවට දීම ආණ්ඩුවේ යුතුකම බවය. න්‍යෂ්ටික බලය තිබුණත් ලෝකයේ ධන බලය තිබුණත් දේශපාලන වශයෙන්ද, බලයෙන්ද ජනතාව බෙදී සිටියහොත් මැරෙන්නට සිදුවන්නේ ඔක්සිජන්වත් නැතිවය. ජන බසින් කීවොත් මැරෙන්න වෙන්නේ හුළංවත් නැතිවය.

පළාත් සභා හරියට මේ රටේ ක්‍රියාත්මක වූයේ නම් අපටද මෙයම සිද්ධ නොවන්නේ දැයි දේශපාලන නිරීක්ෂකයන් ප්‍රශ්න කරති. එසේ නම් කන්දකාඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් ගොඩනැගීමට රජයට බැරිය. කෝවිඩ් මර්දනයට රජයට හමුදාව යොදා ගන්නට ඒ ඒ පළාත් සභාවේ අනුමැතිය ගන්නට සිදු වෙයි.

එබඳුම තත්ත්වයක් අද වුවද උද්ගත වීමට බැරිකමක් නැත. පාසල් පවත්වා ගැනීමේ තීන්දුව පළාත් ආණ්ඩුකාරවරුන්ට දුන් විට කොළඹද ඇතුළු ඇතැම් පළාත් පාසල් වැසිණ. මධ්‍යම රජයේ පාසල්වලට ආණ්ඩුකාරයාගේ තීරණය බලපාන්නේ නැත. එසේ වූවා නම් රජයේ පාසල් දරුවන් පාසල් යන්නටත් පළාත් සභාවල දරුවන් ගෙදර නවතින්නටත් ඉඩ තිබිණ. වරෙක රජයේ පාසල් විවෘත කරන බවට නිවේදනය කළත් කතෝලික පාසල් විවෘත නොකරන බව අගරදගුරු කීවේය. ඒ ප්‍රකාශය අනුව ක්‍රියාවද සිදු විණ. මෙය අර්බුදයක් දක්වා නොගියද එසේ අර්බුදයක් බවට පත් කර ගැනීමටද අවස්ථාව නැත්තේ නොවේ.

එසේම කොරෝනා පළමු රැල්ල ආ සමයේ ජාතියේ තිබූ එකඟතාව අද බිඳී ගොසිනි. තමන්ම වවාගෙන කෑමටත්, තම මුහුණු ආවරණ තමන්ම සාදාගෙන සේවයට යාමටත්, කොස් ගෙඩිය පවා බෙදා ගැනීමටත් තිබූ එකඟතාව ද, හමුදාවට, සෞඛ්‍ය නිලධාරින්ට කළ ආශිර්වාදයද පළමු රැල්ල ජය ගැනීමට මහඟු හේතු විය. එකදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවී රට පුරා එක දිනක මහ මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුවක් පිහිටු වීමටත් එදා පුළුවන්කම තිබිණි. ඒ ජනතා සහාය නිසාය.

එහෙත් කොවිඩ් තුන්වැනි රැල්ලට අප මුහුණ දෙන්නේ එබඳු ප්‍රබල ජනතා සහයෝගී හැඟීමකින් තොරවය. පෙට්ටි කඩයේ එකාගේ මුහුණු ආවරණය නැතිනම් අත්අඩංගුවට ගන්නා ආණ්ඩුව, නුවරඑළියේ වසන්ත සැණකෙළියට ඉඩදී බලා හිඳීම වැනි වැඩ මේ ජනතා සහය නැති වීමට එක් හේතුවකි. ජනතාව වෙනුවෙන් එන්නත ගෙන්වන විට එය හිඟාකෑමක් බව විරුද්ධ පක්ෂය කියයි. ඇස්ට්‍රාසෙනිකා රජය ගෙන්වන විට, ගෙන්විය යුත්තේ එම එන්නත නොව ෆයිසර් බව තවකෙක් කියයි. පී.එච්.අයි.ලා සහ රජයේ වෛද්‍ය නිලධාරින් අතර ගැටීම ආවේ කොරෝනා දෙවැනි රැල්ලේදීය. දැන් එකෙකුට වරදින තෙක් අනෙකා බලා හිඳී. මේ, කාටත් වරදින තැනය. දැන් ජනතාව විනයක් ඇතිව හැසිරෙන්නේ මරණ බය නිසාය. තුන්වැනි රැල්ල ඇවිත් තියෙන්නේ එංගලන්තයෙන් නිසා මරණ ගණන සියයට පනහ වන බවට අනතුරු අඟවා තිබේ. ජනතාව සෞඛ්‍ය නීති පිළිපදින්නේ මේ මරණ බයටය. මරණ බය ආරක්ෂාවට හොඳය. නමුත් කොරෝනාවලට ප්‍රහාරයක් දීමට නම් ජනතා සහයද ඕනෑය.