කතුවැකි

බයිසිකලෙන් යන්න කතා කරන මන්ත්‍රීවරු තෙල් දීමනාව අත් නොහරී

මැති ඇමැතිවරුන්ගේ ඉන්ධන දීමනාව අඩු කිරීමට පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාව තවමත් ක්‍රියාත්මක වී නැති බව කියන අනාවරණයක් අප පුවත්පත ඊයේ වාර්තා කර තිබිණ. ඉන්ධන දීමනාව මෙන්ම ඔවුන්ගේ දුරකථන දීමනාවද අයවැයෙන් යෝජනා කළ පරිදි අඩු වී නැතැයිද එම ප්‍රවෘත්තියේ දැක්වේ. එසේ වුවත් රජයේ නිලධාරින්ගේ ඉන්ධන හා දුරකථන දීමනා අඩු කිරීමට ඉදිරිපත්ව තිබූ අයවැය යෝජනාව පසුගිය ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මකය.

මැති ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ මාසික ඉන්ධන දීමනාව ලීටර් 05 කින්, දුරකථන දීමනාව සියයට 25 කින්ද අඩු කිරීමට යෝජනා කෙරුණේ රාජ්‍ය වියදම් අඩු කිරීම අරමුණු කරගෙනය. ඉන්ධන දීමනාව ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්ට මසකට ඉන්ධන ලීටර් 280 ක් ලබාදෙන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල දුර ප්‍රමාණය අනුව මෙම ප්‍රමාණය වැඩිවේ. ලීටර් 600 ක් වන ඉහළම දීමනාව හිමිවන්නේ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සඳහාය.

මෙම ඉන්ධන ප්‍රමාණයන් සඳහා මිල තීරණය වන්නේ සෑම මසකම පළමුවැනිදාට පවතින ඉන්ධන මිල ගණන් අනුවය. පසුගිය දිනවල සිදු වූ ඉන්ධන මිල ඉහළ යෑමට අනුව සාමාන්‍යයෙන් මන්ත්‍රිවරයකු තම වාහනය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය ඩීසල් යැයි උපකල්පනය කළද, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයකුගේ ඉන්ධන දීමනාව රුපියල් පනස්දහසකට ආසන්නය. මැති ඇමැතිවරුන් භාවිත කරන අති සුඛෝපභෝගී වාහනවලට සාමාන්‍යයෙන් ඩීසල් හෝ පෙට්‍රල් නොවන නිසා ඉන්ධන ලීටර් 500 ක 600 ක දීමනාවක් හිමි අයකුගේ මාසික ඉන්ධන දීමනාව කෙතරම් වනු ඇත්ද?

මේ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනකු සඳහා වන මාසික ඉන්ධන දීමනාව කොතරම් විශාල මුදලක් වුවද, ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත සැපවත් කිරීම සඳහා වැය කෙරෙන මහජන මුදල් කන්දරාව සමග සසඳන විට සැලකිය හැක්කේ ලූනු බිකක් තරම් දෙයක් ලෙසය.

එසේ වුවත් රටේ ඉන්ධන අර්බුදය උග්‍ර වී ඇති මොහොතක ලූනු බිකත් මහා මේරුව තරම්ය. මැති ඇමැතිවරුන්ගේ දීමනා සියල්ල කපා දැමූවත් මේ මොහොතේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට ප්‍රමාණවත් වන්නේ නැත. මැති ඇමැතිවරුන්ගේ දීමනා අඩු කිරීමට ඇත්තේ මූල්‍යමය වටිනාකමකට වඩා ආදර්ශවත් වටිනාකමකි. රටේ ආර්ථිකය අර්බුදයට ලක්ව ජනතාවට දවල්ට පෝලිමේ, රෑට කළුවරේ ඉන්නට සිදුව ඇති තත්ත්වයකදී දේශපාලකයෝ ලෙස තමන්ද යම් කැපකිරීමක් කරන බව ඔප්පු කළ හැකි නම් එවන් ක්‍රියාවකට ඇති වටිනාකම රුපියල්වලින් නොව ඩොලර්වලින් හෝ මනින්නට නොහැකි තරමට අති විශාලය. එසේම ඉතාම ගැඹුරුය.

රජයේ සේවකයන්ගේ දීමනා කප්පාදු කෙරෙන නමුත් මාස තුනකට ආසන්න කාලයක් දේශපාලකයන්ගේ දීමනා සොච්චමකින් හෝ අඩු නොවීමෙන් පෙනී යන්නේ ඔවුන් ජනතාවට හෙණ ගැහුවත් තඹ සතයකට ගණන් නොගන්නා බවය. ඉන්ධන, විදුලිය, ගෑස් හිඟය නිසා ජනතාවට විඳින්නට සිදුව ඇති ගැහැට ඔවුන්ට විඳින්නට සිදුව නැති නිසා විය හැකිය. මැති ඇමැතිවරුන්ගේ රථවලට ඉන්ධන අවශ්‍ය යැයි කී විට ඉන්ධන පිරවුම්හලට කතා කොට ඉන්ධන ලබාදෙන බව පසුගිය දිනෙක බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ. විදුලිය කප්පාදුවක් සිදු වුවත් ජනතාවගේ මුදලින් ගෙන දී තිබෙන විදුලිජනන යන්ත්‍රවලට අවශ්‍ය ඩීසල්ද හිඟයක් නොමැති නිසා ඔවුන්ට විදුලිය කැපීමෙන්ද ප්‍රශ්නයක් නැත. ගෙදර උයා ගන්නට ගෑස් නැති වුණත් අඩු මිලකට සුඛෝපභෝගී කෑම කන්නට පාර්ලිමේන්තුව තිබේ.

මැති ඇමැතිවරුන්ද, යම් කැපවීමක් කළ යුතු යැයි ඉඳහිට කියන දේශපාලකයන් සිටියත් ඒවා හුදෙක් විහිළු පමණය. ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා පාපැදි භාවිතයට යොමු විය යුතු බව ඇමැතිවරයකු යෝජනා කළත් මැති ඇමැතිවරුන් නොව ප්‍රාදේශීය සභා සභාපතිවරයකුවත් පාපැදියකින් යන බවක් පෙනෙන්නේ නැත. අඩුම වශයෙන් පා පැදියෙන් යන්නට යෝජනා කළ ඇමැතිවරයාවත් එසේ යන බවක් පෙනෙන්නට නැත. පරිවාර රථ නොමැතිව ගමන් බිමන් යා යුතු යැයි යෝජනා කරන ඇමැතිවරුද සිටිති. එහෙත් මැති ඇමැතිවරු කී දෙනෙක් එම යෝජනාව පිළිගෙන තිබේ දැයි කියන්නට අප දන්නේ නැත.

මැති ඇමැතින්ට පරිවාර රථ නොමැතිව ගමන් බිමන් ගිය හැකි නමුත් ඔවුන්ට පාපැදියෙන් යන්නට එන්නට නොහැකි බව අපි දනිමු. ඒ නිසා ඔවුන් පාපැදියෙන් ගමන් බිමන් යෑම කිසිවකු අපේක්ෂා කරන්නේද නැත. ඒ නිසා නොකෙරෙන මඟුල් කතා නොකර කළ හැකි දෙයක් ගැන කිව යුතුය. මෙවන් කතා ගැලරිය පිනවීම සඳහා කියන ඒවා යැයි බැහැර කළ හැකි නමුත් අයවැයෙන් යෝජනා කළ දීමනා කප්පාදුව එසේ අමතක කළ නොහැකිය. එක් අතකින් එය අයවැය යෝජනාවක් වන අතර, ඒ අනුව රාජ්‍ය නිලධාරින්ගේ දීමනා කප්පාදුව දැනටමත් සිදුවන නිසාය.

අයවැය යෝජනාවට අනුව මැති ඇමැතිවරුන්ගේ දීමනා කප්පාදුව ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවේ නිලධාරින්ටය. ඔවුන් ඒ වගකීම ඉටුකර නැත්තේ හිතාමතාද? නැතහොත් එසේ කරන්නැයි කාගෙන් හෝ එල්ල වූ බලපෑමක් නිසාද? කුමන හේතුවක් නිසා හෝ මාස තුනක පමණ කාලයක් එම දීමනාව එලෙසින්ම ලැබෙන විට ඒ පිළිබඳ විමසීමේ සදාචාරයක් දේශපාලකයන්ට තිබිය යුතු නොවේද? විශේෂයෙන් ම රටේ ආර්ථික අර්බුදය දවසින් දවස උග්‍ර වෙමින් පවතින මොහොතක අයවැයෙන් යෝජනා කළ දීමනා කප්පාදුව සිදු නොවී තමන්ගේ සියලු දීමනා සුපුරුදු පරිදි ලබා ගැනීම වංචාවක් නොවේද? එවැනි වංචාවක් කිරීමට දේශපාලකයන්ට ලැජ්ජා නැති දැයි අප අසන්නේ නැත. දේශපාලකයන් යනු ලැජ්ජාව නැති පිරිසක් බව අප දන්නා නිසාය.

පුදුම සහගත කාරණය වන්නේ ආර්ථික අර්බුදය හමුවේ සහන ඉල්ලා ජනතාව පාරට බස්සන්නට කතා කරන විපක්ෂයේ මන්ත්‍රිවරුද මේ ගැන කිසිවක් නොදන්නා සේ සුපුරුදු දීමනා එලෙසින්ම ලබා ගැනීමය. කැපෙන්නට නියමිත දීමනා නොකැපී සියලු දීමනා අඩුවක් නොමැතිව අතට එද්දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් හොරුන් සේ සිටියත් ජනතා දුක, වේදනාව හදවත අතට ගන්නා විපක්ෂයේ මන්ත්‍රිවරුන් මේ ගැන නොකර සද්ද සිටින්නේ කෙසේද? මෙයින් යළිත් තහවුරු වන්නේ දේශපාලකයන් පර්ලිමේන්තුවේ කුමන පැත්තේ සිටියත් ‘ඔවුන්’ ඔවුන් ගැන බලාගන්නා අතර ජනතාව ලෙස ‘අප’ අප ගැන බලාගත යුතු බව යැයි කිව නොහැකිද?