ක්‍රීඩා

බංග්ලාදේශයට ලෝක කුසලාන දිනා දී නවීඩ් නවාස් අරුණ ට කී කතාව

ශ්‍රී ලංකා යොවුන් පිලකට මෙතෙක් කිරීමට නොහැකි වූ ක්‍රිකට් පෙරළිය බංග්ලාදේශය යෞවනයෝ සිදු කළහ. ඒ වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ මෙවර අයිතිය ඔවුන්ගේ නම ඉදිරියේ සින්නක්කරයට ලියා ගනිමිනි.

බංග්ලාදේශය මෙම ජයග්‍රහණයේ සව්දිය පුරද්දි, ඔවුන් පිටුපස නිහඩ වීරයෙක් විය. ඒ වෙන කවුරුත් නොවෙයි ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ජාතික කණ්ඩායම් නියෝජනය කළ 46 හැවිරිදි නවීඩ් නවාස්ය. නවාස් නොවන්නට ඇතැම් විට බංග්ලාදේශයට ලෝක කුසලානය හීනයක්ම වන්නට ඉඩ තිබිණි.

මේ වනවිට නවාස් බංග්ලාදේශයේ වීරයෙකි. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ අසහාය පුහුණුකරුවෙක් ලෙස නවාස්ව හැඳින්වුවත් එහි ඇති වැරැද්දක් නැත. ඒ වනවිටත් දකුණු අප්‍රිකාවේ රැඳී සිටි නවීඩ් නවාස්ට අපි කතා කළෙමු.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිලේ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම අවුරුදු 7ක් විතර ලංකාවේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමත් එක්ක ලෝක කුසලාන දෙකකට සහභාගි වුණා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ උපදේශකයෙක් ලෙස ලෝක කුසලාන තරගාවලියකට එක් වුණා.

2015 දී ලංකාවේ ක්‍රිකට්වලින් අයින් වුණාට පස්සේ අරවින්ද ද සිල්වා එක්ක එකතුවෙලා ඩුබායිවල ක්‍රිකට් ඇකැඩමියක් පටන් ගත්තා. ඒක අවුරුද්දක් විතර සාර්ථකව කරලා ඊට පස්සේ මම 2016 දී ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා. ඔස්ට්‍රේලියාවේ දිස්ත්‍රික් කණ්ඩායම් කිහිපයක් එක්ක වැඩ කරගෙන ඉන්නකොට තමයි 2018 වසරේදි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් මට ඇරයුමක් ආවේ.

2015 දී ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් අයින් වුණේ?

මාව ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් අයින් කළේ නැහැ. නමුත් මට ප්‍රගතියක් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ නිසා මම ඉල්ලා අස් වුණා.

බංග්ලාදේශයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ගැන කිව්වොත්?

එහෙ පාසල් ක්‍රිකට් නැහැ. කොට්ඨාස මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ තරගාවලියක් පැවැත්වෙන්නේ. ඒ තරගාවලිය පටන් ගන්නෙත් අවුරුදු 14, 15 වයසෙ ළමයින්ගෙන්. එයාලගේ කොට්ඨාසයක් කියන්නේ අපේ රටේ දිස්ත්‍රික්කයක් වගේ. එයාලගේ දිස්ත්‍රික්කයක් කියන්නේ හරියට අපේ රට වගේ.

එතකොට ලෝක කුසලාන දිනූ කණ්ඩායම තෝර ගත්නේ?

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුවේ සිව් දෙනෙක් ඉන්නවා. ඒ අය සේරම බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ගහලා අත්දැකීම් තියෙන අය. බංග්ලාදේශයේ පැවැත්වෙන දිස්ත්‍රික් තරගාවලි වලින් අපි මුලින්ම 70 දෙනෙක් තේරුවා. ඊට පස්සේ එතැනින් 25ක් තෝරලා අවසානයේ ලෝක කුසලානයට යන කණ්ඩායම තේරුවා.

අවසන් කණ්ඩායම තෝරන්න ඔබත් දායකත්වය දෙන්න ඇති?

මම ඔවුන්ගේ කටයුතු වලට අමුතුවෙන් ඇඟිලි ගහන්න ගියේ නැහැ. ඔවුන් හැමදේම මගෙන් අහලයි කළේ. මට නොකියා කිසි දෙයක් කළේ නැහැ.

ඔබ හැරුණාම බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ තවත් ලංකාවේ පුහුණුකරුවෝ ඉන්නවාද?

මම හරුණාම විදෙස් ජාතිකයෙක්ට ඉන්නේ එංගලන්ත පුහුණුකරුවෙක් විතරයි. අනිත් සෑම කෙනෙක්ම බංග්ලාදේශයේ අය.

ඔබ දකින විදිහට බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිලේ විශේෂ ගුණය මොකක්ද?

මොවුන් ඉගෙන ගන්න හරිම ආසයි. ඔවුන් ඕනෑම දෙයක් හරියට ෆෝකස් කරනවා. ලංකාවේ ළමයි එක්ක ගත්තාම මොවුන්ගේ ඒ ගතිය ඉතා හොඳින් තියෙනවා. අපි ටාගට් එකකට අනුව අවුරුදු දෙකක් වැඩ කළා. ඒ අවුරුදු දෙකෙන් පළමු අවුරුද්ද වෙන් කළේ ඔවුන්ගේ පිතිකරණ, පන්දු යැවීමේ කුසලතා වර්ධනය කරන්න. ඊළඟ අවුරුද්ද පුරාවටම අපි කළේ ඔවුන්ට ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දුන්න එක. අපි කරපු දේවල් හරියටම හරි ගියා.

ලංකාවේ චම්පක රාමනායක බංග්ලාදේශ ජාතික ක්‍රිකට් පිලේ පුහුණුකරුවෙක්. ඔබට ඔහුව හමුවෙනවා ඇති?

චම්පක හැමවෙලේම වගේ කතා කරනවා. ඔහු ජාතික කණ්ඩායමේ පුහුණුකරු කියලා නැහැ. වෙලාවක් ලැබුණාම මගේ කණ්ඩායමේ වේග පන්දු යවන්නන් එක්කත් ඇවිත් වැඩ කරනවා. මොකද අපි හැමෝගෙම අරමුණ එකයි. ඒ තමයි බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යන එක. ඒ වෙනුවෙන් අපි නිතරම අදහස් හුවමාරු කරගෙන එකාමෙන් වැඩ කරනවා.

චන්දික හතුරුසිංහ, රුවන් කල්පගේ, චම්පක රාමනායක, තිලාන් සමරවීර මීළඟට ඔබ. බංග්ලාදේශයේ ක්‍රිකට්වලට ලංකාවේ පුහුණුකරුවෝ නැතුවම බැරිද?

අපේ රටේ දක්ෂ පුහුණුකරුවෝ සෑහෙන්න ඉන්නවා. ඒ බව හොඳින් හඳුනාගෙන තියෙන රටක් තමයි බංග්ලාදේශය කියන්නේ. එංගලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටකින් පුහුණුකරුවෙක් ගෙන්වාගෙන වැඩ කරනවාට වඩා ඔවුන්ට ලංකාවේ අයත් එක්ක වැඩ කරන එක ලේසියි. මොකද ලංකාවේ අයට ඔවුන්ගේ සංස්කෘතියට හැඩ ගැහෙන්න එච්චර අමාරු නැහැ. ඒ වගේම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය තේරුම් ගන්නත් ලංකාවේ අයට හරි පහසුයි.

ඔබ මීට පෙර ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් පිලේ පුහුණුකරු. මෙවර ලංකාවේ ලෝක කුසලාන ගමන 10 වැනි තැනින් නතර වුණා. ශ්‍රී ලංකා පිලේ ඔබ දැකපු දුර්වලතා මොනවාද?

දුර්වලතා ගැන කතා කරනවාට වඩා මම මෙහෙම කියන්නම්. අපේ පාසල් ක්‍රිකට් ස්ටෑන්ඩඩ් එක කොච්චර හොඳ වුණත් වෙනත් රටවල වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් හා සංසන්දනය කරනකොට යම් ගැටලුවක් පේන්න තියෙනවා. අපේ ක්‍රිකට්වල නිශ්චිත භාවයක් නැහැ. අපේ ක්‍රීඩකයන්ට ස්ථාවර වෙන්නනම් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්නම ඕනේ. ඒත් හැමෝටම ඒක කරන්න බැහැනේ. ඒ නිසා මුලින්ම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයාට තමන්ගේ අනාගතය පිළිබඳව තියෙන අවදානම නැති කරන්න ඕනේ.

සාමාන්‍යයෙන් අපේ රටේ සිස්ටම් එක තමයි පාසලෙන් අවුට් වෙලා කැම්පස් ගිහින් ඊට පස්සේ රැකියාවක් කරන එක. නමුත් බංග්ලාදේශයේ එහෙම නෙමෙයි හරියට ක්‍රිකට් ගහන කෙනෙක්ට අනාගතය හොඳින් හදාගන්න මාර්ගය හදලා දීලා තියෙනවා. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියත් එක්ක
රටේ ප්‍රධාන තරගාවලි 4ක් තියෙනවා. ඒවාට ක්‍රීඩා කළාම අමුතුවෙන් රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ. ක්‍රිකට් වෘත්තීය කරගෙන හොඳට ජීවත් වෙන්න පුළුවන්. මම හිතන විදිහට ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ක්‍රීඩා සමාජ වලත් පවත්නා සිස්ටම් එක වෙනස් කළ යුතුයි.

ආයෙත් ලංකාවෙන් ඇරයුමක් ලැබුණොත් පුහුණුකාර ධුරයක් සඳහා?

අපි ලෝකේ කොහේ හිටියත්, හදවත තියෙන්නේ ලංකාවේ. අපිටත් අවශ්‍ය ලංකාවේ ක්‍රිකට් වලට දෙයක් කරන්න. බංග්ලාදේශය දාලා හතුරුසිංහ ලංකාවට ආවෙත් ඒ උවමනාව නිසයි. මම අවුරුදු 25ක් ක්‍රිකට් ගහලා අවුරුදු 10ක් කෝච් කරලා තියෙනවා.

මට මගේ ක්‍රමයක් තියෙනවා සහ මම වැඩ කරන්නේ ඒ ක්‍රමයට. එහෙම බැරිනම් මම එතැන රැඳෙන්නේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වැඩ කරන්න අවස්ථාව ලබා දීලා මට අත්දැකීම් ගන්න අවස්ථාව දුන්නට මම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ස්තූතිවන්ත වෙනවා. නමුත් මම ඉදිරියේදී තීරණ ගන්නේ මගේ පවුලට ගැළපෙන විදිහට සහ පුහුණුකරුවෙක් ලෙස මගේ ඉදිරි ගමනට ගැළපෙන විදිහට.

වයස අවුරුදු 19න් පහළ තරගාවලිවලදී හරියටම ඒ වයසේ ළමයි ක්‍රීඩා කරනවාද කියන එක එදා ඉඳන්ම නැගෙන ප්‍රශ්නයක්. ඔබ ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ කොහොමද?

අයි.සී.සී.ය කියන්නේ පාස්පෝට් එකේ තියෙන වයස අවුරුදු 19ට අඩුවෙන්න ඕනේ කියලා. ලංකාවේ පුහුණුකරුවා හැටියට ඉන්නකොට මටත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම දැනිලා තියෙනවා. මම 2015 ඉඳන් පිටරටවල වැඩ කළා. දැන් මට ඒ ගැන යම් අවබෝධයක් තියෙනවා.

අවුරුදු 18ක් වෙනකොට අපේ රටේ ළමයින්ව ගෙවල්වල තියාගෙන කෑම කවලා, පිඟාන හෝදලා දීලා සේරම කරනවා.

ඒත් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල ළමයි අපේ අයට වඩා ඉදිරියෙන් ඉන්නවා. මොකද ඔවුන්ට ඒ කාලෙ වෙද්දි තනිවම ජීවත් වෙලා හොඳ අත්දැකීම් තියෙනවා. මගේ කණ්ඩායමේ ඉන්නවා අවුරුදු 10 දී ගෙදරින් ඇවිත් හොස්ටල් වල ඉඳන් ක්‍රිකට් ගහලා තැනකට ආපු අය.

අපේ ළමයින්ව අපි පරිස්සම් කරනවා වැඩියි. එතකොට අර ළමයි ක්‍රීඩා කරද්දි ඔවුන් ඒ වයස් කාණ්ඩයේ උනත් ඔවුන්ගේ දක්ෂතා සේම පෙනුම අපේ ළමයින්ට වඩා පරිනතයි.

ඔබ දැන් බංග්ලාදේශයේ අසහාය පුහුණුකරුවෙක් වෙලා හමාරයි. ඔවුන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් කවදාවත් ජාත්‍යන්තර ක්‍රිකට් වලින් අවසන් තරගයක් දිනල තිබුණේ නැහැ. ගිය අවුරුද්දෙන් දවස් 270ක් විතරම මම ගත කළේ කණ්ඩායමත් එක්ක. මගේ කොන්ත්‍රාත්තුව වසර දෙකෙන් දෙකට අලුත් වෙන්නේ.

දැන් මම ඇවිත් වසර දෙකක් ගතවෙලා ඉවරයි. වාතාවරණය හොඳනම් මම තවදුරටත් බංග්ලාදේශය සමග කටයුතු කරනවා. නැත්නම් මම අයින්වෙලා යනවා.
ලංකාවේ ඔබේ සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයන් සමග තියෙන ගනුදෙනුව කොහොමද?

අපි තවමත් ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරනවා. ලංකාවට ආවොත් අරවින්ද, උපුල් චන්දන, වාස්ලා අනිවාර්යයෙන් හම්බෙනවා. මගේ අයියා, අක්කා, නංගී ඉන්නේ ලංකාවේ. ඒ නිසා ලංකාව එක්ක තියෙන සම්බන්ධතාවයේ වෙනසක් වෙලා නැහැ. ඉස්සරහට ලංකාවට එයිද කියන්නත් බැහැ.

ගයාශාන් විතානආරච්චි