අතන මෙතන

පොලු පහරින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් බලපිටිය වැල්ලවත්තේ පදිංචි පුද්ගලයකු ගේ හිසට පසුගිය (03) දා පොල්ලකින් ගැසීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහලට යවා ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී මියගොස් ඇත..

මෙසේ මියගොස් ඇත්තේ දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හා බලපිටිය මූලික රෝහලේ රාජ්‍ය කලමනාකාර සහකාර වරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගොස් සිටි 62 හැවිරිදි ජී. එම්. ජයවිලාල් ද සිල්වා නැමැති පුද්ගලයෙකි.

මොහු විසින් පසුගිය 03 වැනි දින රෝහලට පැමිණෙන පිරිසට කෑම වර්ග අලෙවි කිරීම සඳහා රෝහලෙන් පිටත කුඩා ව්‍යාපාරයක් එදිනම ආරම්භ කර ඇත.

එම අවස්ථාවේ කිසියම් පිරිසක් පැමිණ බහින් බස් වීමක් සිදුව ඇති අතර එහි සිටි අයෙකු විසින් මොහුගේ හිසට පොල්ලකින් පහර දී ඇති බව දැනගන්නට ඇත.

මේ වන විට ආපනශාලා භාරකරු හා තවත් පුද්ගලයකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.