News

පුද්ගලයින් 12කට ප්‍රසිද්ධියේ කස පහර

පුද්ගලයින් 12කට ප්‍රසිද්ධියේ කස පහර

අනාචාරයේ හැසිරීම, සමලිංගික සබඳතාවලට ලැබුණු දඩුවම

කාන්තාවන් තිදෙනකු ඇතුළු 12 දෙනකුට ප්‍රසිද්ධියේ කස පහරදීමේ සිද්ධියක් ගැන ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වේ. මෙම දඬුවම් ලබාදීම සිදුව ඇත්තේ එරට පාපන්දු ක්‍රීඩාංගණයක බව මාධ්‍ය වාර්තා කර තිබිණි. දහසකට වැඩි පිරිසක් මෙය නැරඹීමට පැමිණ සිටි බව පැවසේ. ඉහත කී පුද්ගලයන්ට මේ ආකාරයෙන් දඬුවම් ලබාදී ඇත්තේ ඔවුන් ඉස්ලාමීය සදාචාරයට පටහැනි ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා නගමිනි. අනාචාරයේ හැසිරීම, සොරකම, සමලිංගික සබඳතා ආදිය මේ අතර වන බව තලේබාන් සාමාජිකයකු මාධ්‍යයට ප්‍රකාශ කර ඇත. මාසයක් ඇතුළත ප්‍රසිද්ධියේ කස පහර ලබා දීමක් සිදු වූ දෙවැනි වතාව මෙය බව සඳහන් වේ.

මේ වනවිට ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් සංවිධානයය. මෙම සිද්ධිය එම සංවිධානය මෙයට කලකට පෙර ඇෆ්ගනිස්තානය පාලනය කළ කාලය සිහියට නංවන්නක් බව නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති. නවසිය අනූව දශකයේද තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය පාලනය කළ අතර එකලද මෙවැනි දැඩි දඬුවම් ක්‍රියාත්මක කරනු ලැබිණි.

පසුගිය බදාදා සිද්ධියේදී සෑම කෙනකුටම කස පහර 21 සහ 39 අතර සංඛ්‍යාවක් ලබා දී තිබිණි. එක් පුද්ගලයකුට එක අවස්ථාවකදී ලබා දිය හැකි උපරිම කස පහර සංඛ්‍යාව 39ක් බව තලේබාන් සංවිධානය පවසයි. මෙම දඬුවම්දීම සිදුව තිබුණේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ලොගාර් නමැති ප්‍රදේශයේය. පසුගිය සතියේ තකාර් නමැති පළාතේද 19 දෙනකුට මේ ආකාරයෙන් කස පහර ලබා දී තිබිණි.

මේ ආකාරයෙන් දඬුවම් ලබා දීම ආරම්භ වී ඇත්තේ තලේබාන් සංවිධානයේ උත්තරීතර නායකයා වන හිබතුල්ලා අකුන්ද්සාදා එරට විනිසුරුවරුන් වෙත දෙන ලද නියෝගයකින් පසුව බව සඳහන්ය. ඇතැම් වැරදි සඳහා රට තුළ ක්‍රියාත්මක වන ෂරියා නීතියට අනුව දඬුවම් නියම කරන ලෙස ඔහු දැනුම් දී තිබිණි. තලේබාන් සංවිධානය ෂරියා නීතිය අර්ථ දක්වන ආකාරය අනුව සමහර වැරදි සඳහා ඉතා දැඩි දඬුවම් ලබාදීමේ හැකියාව තිබේ. ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබාදීම, අත්පා කැපීම, ගල් ගැසීම වැනි දඬුවම් ඊට අයත්ය.

පසුගිය වසරේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලයට පත් අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ මෙවර වඩාත් මධ්‍යස්ථ ආකාරයෙන් රට පාලනය කරන බවයි. මේ අනුව මානව හිමිකම් සම්බන්ධයෙන් ඔවුන් පෙරට වඩා අවධානයක් යොමු කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූහ. මෙයට පෙර මෙම සංවිධානය ඇෆ්ගනිස්තානය පාලනය කළේ 1996 – 2001 අතර කාලයේය. එම කාලයේද ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබාදීම, කස පහර ලබා දීම ආදිය විශාල වශයෙන් ක්‍රියාවට නැගිණි. ලොගාර් ප්‍රදේශයේ කස පහර දීමෙන් පසු කාන්තාවන් තිදෙනා නිදහස් කර තිබිණි. නමුත් පිරිමින්ගෙන් කිහිප දෙනකු සිරගත කර ඇති බව සඳහන් වේ.

සහන් වික්‍රමගේ