අතන මෙතන

නෙලුම්පුරේ ගඳ පොලිසියටයි නගර සභාවටයි නොදැනේ

නෙලුම්පුරේ ගඳ පොලිසියටයි නගර සභාවටයි නොදැනේ

ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට අයත් මොරටුව තෙලවල පෞද්ගලික ඉඩමක මහපරිමාණයෙන් කුණු කසළ බැහැර කීරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහූ මැසිවිලි නගති.

තෙලවල නෙලුම්පුර 4 වන පටුමග ප්‍රධාන මාර්ගය අසල පාලුවට ගොස් ඇති පෞද්ගලික ඉඩමකට මෙලෙස මහා පරිමාණයෙන් කුණු කසළ බැහර කර ඇති ආකාරය එහි ගිය අපට දක්නට ලැබුණී. එම ඉඩමේ කුඩා නිවසක්ද ඇති අතර එහි දැනට කිසිවෙක් පදිංචිව නැත.

මෙම ඉඩමට නගර සභා කුණු කරත්තය මගින් මෙන්ම නන්නාදුනන පිරිස් ද වාහන වලින් පැමිණ කුණු බැහැර කිරීම නිතර සිදු කරන බව ප්‍රදේශවාසීන් අරුණට පැවැසීය.

මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැතැයි ද ඔවුහූ චෝදනා කරති.

තෙලවල ස්වර්ණමාලි විහාරයේ විහාරාධිපති පල්ලේවල චන්ද්‍රානන්ද හිමි මෙම කුණු කසළ ප්‍රශ්නය පිළිබඳව මෙසේ කීහ.

“මේ දිනවල වැසි සමයත් සමග ඩෙංගු බෝවීමේ අවදානමත් පවතිනවා. එලෙසම ශ්වසන රෝග ඇති වීමේ ප්‍රවනතාවකුත් මේ කුණු ගොඩ නිසා ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳව මහජන සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලු බලධාරීන්ට ප්‍රදේශවාසීන් විසින් දැනුවත් කිරීම් සිදු කරලා තියෙනවා. නමුත් මේ වන තුරු මේ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මේක හරිම කණගාටුදායක තත්ත්වයක්.”

විහාරාධිපති පල්ලේවල චන්ද්‍රානන්ද

නෙළුම්පුර ප්‍රදේශවාසියකු වන සාගල රත්නපාල මහතා මෙසේ කීය.

මේ ඉඩමට කාලාන්තරයක සිට කුණු කසළ බැහැර කරනවා. මේ ඉඩම අයිති කාන්තාව මිය ගිහින්. ඇගේ පුතා මානසික රෝහලක ප්‍රථිකාර ලබනවා. මියගිය කාන්තාවගේ සහෝදරියක් තමයි දැන් මේ ඉඩම භාරව ඉන්නේ. මේ ඉඩමේ තියෙන පාලුවට ගිය නිවසේ රාත්‍රියේදී විවිධ අපචාර සිදු වෙනවා. ඒ ගැන මෙන්ම මේ කුණු කසළ කන්දරාව ගැන ප්‍රදේශවාසීන් එක්ව මොරටුව මහ නගර සභාවටත් ගල්කිස්ස පොලීසියටත් පැමිණිලි කර තිබෙනවා. නමුත් කිසිදු පිළියමක් මේ වනතුරුත් නෑ.

අපේ ගේක කුණු ගොඩක් පිච්චනවා කියලා දැනගත්තොත් කුණු ගොඩ නිවෙන්න කලින්පොලීසිය එනවා.ඩෙංගු පරීක්ෂා කිරීමට සෞඛ්‍ය පරීක්ෂවරු පැමිණියත් මේවා දකින්නේ නැහැ. අපේ නිවසේ ගහකකොළක එක්රැස්ව තිබෙන වතුර බිංදුව ඔවුන් දකිනවා. මේවා නොදැක්කා මෙන් සෞඛ්‍ය අංශ ඉන්නවා යැයි ඔහු පැවසීය.

ප්‍රදේශවාසියකු වන සාගල රත්නපාල

මෙම කසළ බැහැර කරන ඉඩම ඉදිරිපිට නිවසක වාසය කරන දිනූෂා කුමාරි මහත්මිය මෙසේ කීය.

පසුගිය දිනවල මගේ ගෙදර දරුවෙකුටත් ඩෙංගු රක්තපාතය හැදුනා. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කුණු කසළ හැකි ඉක්මණින් ඉවත් කරන ලෙසයි.

ප්‍රදේශවාසියකු වන දිනූෂා කුමාරි

මොරටුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එස්.ඩී.තෙවරප්පෙරුමගෙන් මේ පිළිබඳ අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධව අදාළ නිලධාරීන් යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

දර්ශාන් කානිල්- මොරටුව