අතන මෙතන

නිරෝධායන නීති කඩා පිරිසක් දානේ ගෙදරක ගිහින්

නිරෝධායන නීති කඩා පිරිසක් දානේ ගෙදරක ගිහින්

රත්ගම සෞඛ්‍යබල ප්‍රදේශයේ සිරිකඳුරවත්ත ප්‍රදේශයේ පෙරේදා (02 වැනිදා) නිරෝධායන නීති කඩකරමින් දානමය පිංකමක් පැවැත්වෙන බවට රත්ගම මහජන සෞඛ්‍ය කාර්යාලයට වාර්තා වීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් ඇත.

එහි දී හිමිනමක් තමන්ගේ රාජකාරියට බාධා කළ බවට එම නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මේ වන විට හුදෙකලා කර ඇති කටුදම්පේ ග්‍රාමනිලධාරි වසම ආසන්නයේ පිහිටි සිරිකඳුරවත්ත ප්‍රදේශයේ දානමය පිංකම පැවැති නිවෙස ආසන්නයේ නිවසකින්ද කොවිඩ් ආසාදිතයකු වාර්තා වී සිටි බැවින් තමන් කඩිනමින් එම ස්ථානයට ගිය බවත් එහි දී දානමය පිංකමට වැඩම කර සිටි ශ්‍රීපති විහාරස්ථානයේ හිමිනමක් විසින් ඔවුන්ට බැණ තර්ජනය කළ බවත් මහජන සෞඛ්‍ය නිලධාරීහු පවසති.

ඔවුන් එම ස්ථානයට ළඟා වන විට 50කට ආසන්න පිරිසක් එම ස්ථානයේ රැඳී සිට ඇති බවත් ස්වාමින් වහන්සේගේ බාධා කිරීම නිසා ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වූ බවත් එම නිලධාරීහු පැවසූහ.

මහේෂ් ද සිල්වා – බද්දේගම