අතන මෙතන

නිරෝධායනයේ සිටි ආච්චි මිනිබිරියගේ උපන්දින පාටියට ඇවිත්

නිරෝධායනයේ සිටි ආච්චි මිනිබිරියගේ උපන්දින පාටියට ඇවිත්

වැල්ලම්පිටියට ආසන්න නිවෙසක උපන්දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබුණේ සෞඛ්‍ය අංශ විසින් කර තිබූ ඉල්ලීම්ද නොසලකාහරිමිනි. උපන් දිනය යෙදී තිබුණේ 14 හැවිරිදි දැරියකගේය.

අඳුර වැටීගෙන එද්දී දැරියගේ මිතුරියන්, නෑදෑ හිතවතුන් එකිනෙකා තෑගි බෝගද රැගෙන නිවෙස වෙත පැමිණෙන්නට වූහ.

රාත්‍රිය උදාවෙද්දී කේක් ගෙඩියද කපා උපන් දිනය සමරමින් සිටියදී ඇයගේ 70 හැවිරිදි ආච්චිද සාදයට සහභාගිවීමට පැමිණියාය.

30 දෙනකු පමණ මෙලෙස කාබී ප්‍රීතිවෙමින් සිටින අතරතුර අසල්වාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම නිවසට පැමිණියේය.

ඒ වනවිටත් කොවිඩ් ආසාදිතවී නිරෝධායනය වෙමින් සිටි 70 හැවිරිදි ආච්චිව වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවරගත් සෞඛ්‍ය පරීක්ෂකවරයා පිරිසට දැඩි ලෙස අවවාද කොට සාදයට සහභාගි වූ සියලුදෙනාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත්තේය.

සිරිසේන ගමගේ -කොළොන්නාව