කතුවැකි

දැන් ඉතිං මෝඩයාගේ දවසකට හිරු උදාවනු ඇත

පවත්නා තත්ත්වය 87 වසරේ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ රටේ සිදු වූ කලබලයට ට සමාන වන බව අපි පසුගිය සතියේ මේ වැකියේලා කීවෙමු. ගිය සතියේ බ්‍රහස්පතින්දා වන විට එම තත්ත්වය ආරම්භ වන ලකුණු පෙනෙන්නට විය. ඒ ජනාධිපතිවරයා පදිංචි මිරිහානේ පැඟිරිවත්ත ප්‍රදේශයට යන පාර අවුරමින් කළ උද්ඝෝෂණයත් සමගය. ඊළඟට එළැඹීමට නියමිතව ඇත්තේ ජනවාරි 03 වැනිදා ආරම්භ කෙරෙන නාඳුනන සටන්කරුවන්ගේ උද්ඝෝෂණයය. තුන්වැනිදා කෙරෙන සටනේ කර්තෘ අඥාතය. එය සංවිධානය කරන පක්ෂයක්, කණ්ඩායමක් නැත.

ආණ්ඩුවට තියෙන විරෝධයේ තරම වට්ස්ඇප් පණිවුඩයක් පැතිර වූ සැණින් දහස් ගණනින් ඊට දායක වීමෙන්ම පෙනිණ. එය එක හූවට ගමක් එක්වීම සිහිපත් කළේය. නැතිනම් එක ගන්ඨා නාදයට ගමක් ඒකරාශී වීම සිහිපත් කළේය. වීදි සටන්වැද පුරුදු දේශපාලනඥයන් කිහිප දෙනකු එම ජනතා විරෝධයට එක්වන බව ප්‍රකාශ කළ සැණින් ඔවුනට පිළිකුලේ කෙවිටෙන් තැළිණ. ‘‘දේශපාලන ගොබ්බයන් ආවොත් ගල්ගසා නෙරපනු’’ යයි ඒ ගැන ලියැවුණ ෆේස්බුක් පිටුවක සටහන් වූයේය.

දැන් මේ විරෝධතා සංවිධානය වන්නේ දේශපාලනයෙන් තොරවය. තවත් ලෙසකින් කීවොත් නිර් දේශපාලනිකවය. ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස ජනතා අවශ්‍යතා වර්ග කරන්නට, කරන්නට, ජනතාව කරන්නේ දේශපාලනය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක් ගණයට දැමීමය.

මෙබඳු විරෝධයක ලකුණු පසුගිය කාලයේ තැන් තැන්වලින් මතු වෙමින් තිබිණ. කොහුවල සිට පිළියන්දල පාරේ ගෙවල්වල සිට පාරට පෙනෙන සේ ඉටිපන්දමක් සමග ආණ්ඩු විරෝධී පෝස්ටර් අල්ලාගෙන නිහඬව විරෝධය දක්වනු පසුගිය කාලයේ දක්නට ලැබිණ. එය කෙමෙන් කෙමෙන් දිගු වන ලකුණු ද පෙනිණ. එහෙත් ඒ විරෝධය කාගේ හෝ ලේබලයක් යටතට පත් කර සිතනු විනා ඊට උත්තර දෙන්නට ආණ්ඩුව සිතුවේ නැත. එදා සිට ආණ්ඩුවලට වැරදුනේ මෙසේ සිතන්නට පෙලඹීම නිසාය. යහපාලන ආණ්ඩු සමයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක නම කියන විට ජනතාව හූවකින් සංග්‍රහ කරන තත්ත්වයට පත්ව තිබිණ. යහපාලන ආණ්ඩුව කළේ එය විරෝධතාවක් ලෙස භාර ගැනීම නොව මහින්ද රාජපක්ෂ කියපු හූවක් ලෙස අර්ථකථනය කිරීමය. මේ විරෝධයද ආවේ කොහෙන්ද, මේ පිටුපස ඉන්නේ කව්දැයි සොයන්නට වෙහෙසීම ආණ්ඩුවේ ආරක්ෂක අංශවල රාජකාරියකි. එහෙත් ඒ රාජකාරිය මත පිහිටා තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුවට දැන් කාලයක් නැත.

එයට හේතුවක් වන්නේ කවරකු හෝ මූලිකත්වයෙන් එය සංවිධානය කළත් එයට සැබෑ ජනතා විරෝධයන් එකතුව තිබෙන නිසාය. තෙල් නැති නිසා, ජීවනෝපායට යා නොහැකි දස දහස් ගණනක්ද, විදුලිය පැය දහයත් ඉක්මවා කැපෙන නිසා නිකමුන් බවට පත් කෙරුණ ලක්ෂ ගණනක් ද, ගෑස් බඳුන් ගෙන පාරට ආ ජනතාවද වීදි සටන්කරුවන් බවට පත්කර ගත්තේ ආණ්ඩුව විසින්මය. දැන් වුවමනා කරන්නේ ගෑස් කාන්දු වී තිබෙන කාමරයක් බඳු රටට ගිනිකූරක් දල්වා විසි කිරීම පමණය.

වනයේ යන විට ඊතලයක් පපුවට වැදුණොත් කළ යුත්තේ ඊතලය ආවේ කෙහෙන්ද, ඊතලය තැනුවේ වානේවලින්ද, එය සෑදුවේ කවර කම්හලකද යන්න සොය සොයා ඉන්නවාට වඩා තුවාලයට බෙහෙතක් සොයා ගැනීමය. දැන් ඒ බෙහෙත සොයන්නට තත්ත්වයක් ආණ්ඩුවට නැත.

මීට පෙරද අප සඳහන් කළ පරිදි ආණ්ඩුව නිතර කළේ අපායේ ඉන්ටවල් එක දිගු කර ගැනීමට තැත් කිරීමය. මේ අර්බුදය එන බව පෙනි පෙනීත් ආණ්ඩුව විදුලි කප්පාදුව අන්තිම මොහොත දක්වා පමා කළේය. කාබනික පොහොර හදා ගන්නට රුපියල් 12,000 ගණනේ ගොවියාට දුන්නේය. රට බංකොළොත්කමේ කට ගැට්ටේ සිටියත් රුපියල් 5000 කින් රාජ්‍ය සේවක වැටුප වැඩි කළේ ය. පාඩු ලබන තෙල් සංස්ථාවට ණයට අරගෙන බෝනස් දුන්නේය. ඉදිරියට දුප්පත් පවුල්වලට තවත් පන්දහසේ දීමනා දෙකක් දෙනු ඇත. මේවා දීමෙන් ආණ්ඩුව දිනාගෙන තිබෙන දෙයෙහි තරම සිකුරාදා උදේ වන විට මිරිහානේ පැඟිරිවත්ත පාර අවටින් සොයාගත හැකිව තිබිණ. එහි වූයේ පොලිසියට ගහන්න ගෙනා ගල්මුල්ය. මේ සියල්ල ගඟට කැපූ ඉනිය. ආණ්ඩු විරෝධී පෙළපාළිවල මුලින් ඉන්නේ මේවායින් මොනවා හෝ දෙයක් ලත් පිරිසය.

හමුදා වෙල්ලමුල්ලිවයික්කාල් වට කරන විට එල්ටීටීඊ සගයෝ ‘‘අයියා හෙවත් ප්‍රභාකරන් අත’’ විසඳුමක් ඇතැයි විශ්වාස කළේ ය. එහෙත් ප්‍රභාකරන් එසේ කී උන්ට දෑත පා පෙන්වා ‘‘මේ මගේ අතේ මොනවාත් නෑ’’යි කී බව සමීප සටන් සගයෝ කියති. ආණ්ඩුව මුහුණ දී ඇත්තේ එබඳු තත්ත්වයකටය. ආණ්ඩුවට විසඳුම් හිතේ තිබුණත් අතේ නැත. එබඳු තත්ත්වයක් යටතේ ජනතාව කළ පළමු විරෝධය නිමා වූයේ මෝඩයාගේ දවසට එළිය වැටෙමිනි. රජයට අයත් දේපොළ රාශියක් ගිනි තබා ගල් ගසා විනාශ කර තිබිණ. විනාශය මිලියන 29 ක් බව ගණන් බලා තිබිණ. ඊළඟට ජනතාව විසින් මිරිහානේ කළ විරෝධතාව ගැන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනය මෝඩයාගේ දවසටම ගැලපෙන්නාක් විය. එහි සඳහන් වූයේ අන්තවාදීන් පිරිසක් මේ ප්‍රහාරය එල්ල කළ බවය. එසේම මේ රට අරාබි වනාන්තරයක් කරන බව කියමින් උද්ඝෝෂකයන් කෑ ගැසූ බවද නිවේදනයේ සඳහන් විය. ඉදින් මෙසේ ගියහොත් දිගින් දිගටම මෝඩයාගේ දවස සඳහා ඉර නැගෙනු ඇත.