විශේෂාංග

දැන් අනුන්ගෙ සිංදු කිව්වොත් ගෙවන්න වෙයි

අනුන්ගේ සින්දු කියන විට අතරමැද හූ කීම, අත්පුඩියක් ඉල්ලීම, අධෝ වාතය පිටකිරීම, අලුතෙන් ගීත කෑලි එක්කිරීම, ගීතයේ කෑලි ලොප් කිරීම දැන් ඉතිං නඩු යන, දඩ කන වැඩක් වී තිබේ. ‘‘දන්නෝ බුදුන්ගේ’’ ගීතය නිහාල් නෙල්සන්ගේ ‘ඇරපන් කරාමේ’ ගීතයේ තනුවට අනුව ගායනයද, රියැලිටි වැඩසටහන්වල ගීතයේ අයිතිකරුගේ අවසරය හා ඔහුට ගෙවීමක් නොකර ගායනයට මෙතෙක් මෙරට පැවති වල්බූරු නිදහස අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අහෝසිකොට තිබේ.

මෙම අති විශේෂ ගැසට් පත්‍රයේ අංකය 2/28/6 ය. මෙය රජයේ බලය පිට ප්‍රසිද්ධ කොට ඇත්තේ 2019 ජුනි මස 17 වැනි සඳුදාය. ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 6,7,17,18 සහ 25 වගන්ති සමග කියවිය යුතු එහි 204 වන වගන්තිය යටතේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග ලෙස එය හඳුන්වනවා ඇත.

මෙම ගැසට් නිවේදනය දුටු සැණින් අපේ මතකයට ආවේ අපේ ප්‍රවීණ ගායිකාවක වන ලතා වල්පොළ මහත්මියයි. ඇය වරක් පුවත්පතකට මෙවැනි ප්‍රකාශයක් කොට තිබුණි.

‘‘මම සංගීත සංදර්ශනයේ ගීත ගායනා කරන්න ඉන්නකොට… අලුත් ගායිකාවක් මගේ ගීත දෙකක් නම් කරලා, ඇන්ටි මං කියන හින්දා ඒ සින්දු දෙක කියන්න එපා කිව්වා. මට ඒ සංගීතේ ගෙව්වේ රුපියල් 25,000යි. මගේම සින්දු කියපු අලුත් ගායිකාවගේ ගාස්තුව රුපියල් 75,000යි.’’

දැන් ඉතින් අලුත්ම තත්ත්වය මේ අලුත් අති විශේෂ ගැසට් පත්‍රය අනුව ගීතයේ අයිතිකරුවන්ගේ අවසරය හා ඔවුනට ගෙවීමෙන් තොරව කිසිවකුට ගීත හොරෙන් හෝ බලහත්කාරයෙන් ගායනා කිරීමට නොහැකි වීමය. එහෙත් ඛේදවාචකය වන්නේ සංගීතඥයන්, ගීත රචකයන්, මෙන්ම ගායක ගායිකාවන්ද බොහෝ දෙනකු තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත්ව නොසිටීමයි. මෙහි වඩාත් දරුණු ඛේදවාචකය වන්නේ ප්‍රසංග සංවිධායකයන්, ගුවන්විදුලි, රූපවාහිනී සේවා, රෙකෝඩ්බාර් ආදී මෙකී නොකී සියලු ආයතන තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් වී නොසිටීමය. පැරණි ගීත ගායනා කළ ප්‍රවීණ ශිල්පීන් යන එන මං නැතුව රෝගීව නිවෙස්වල ගිලන්ව සිටියදී නව පරපුරේ ඇත්තන් එම ගීත ගායනාකොට අධි සුඛෝපභෝගී ජීවිතයකට පා නැගීම ඇත්තෙන්ම විග්‍රහ කළ හැක්කේ ආර්ථික අයිතිවාසිකම්වලටත් වඩා සදාචාරාත්මක අයිතිවාසිකම්වලට අභියෝග කිරීමක් ලෙසය.

මෙම ගැසට් නිවේදනය නිකුත් වීමට ප්‍රථම මෙරට පුවත්පත් වාර්තාකොට තිබුණේ මෙවැනි කෙටුම්පතක් සකස් වෙමින් පවතින බවය. එදා මේ බැව් වාර්තා වූයේ මෙසේය.

‘‘2018 අංක 7 දරන බුද්ධිමය දේපළ (සංශෝධන) පනත මගින් සංශෝධිත 2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනත මගින් සලසා ඇති විධිවිධාන අනුව ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ගේ ප්‍රකාශන හිමිකම හා සම්බන්ධිත අයිතිවාසිකම් වෙනුවෙන් එම හිමිකරුවන් වෙත හෝ ඔවුන් සාමාජිකත්වය දරන සාමූහික සංගම් වෙත ඔවුන්ට ගෙවිය යුතු කර්තෘභාගය නියමිත පරිදි ගෙවිය යුතු වේ.’’

එසේ වුවද, තවමත් ගීත හෝ සංගීතමය කෘති, වාණිජමය අරමුණු සඳහා භාවිත කරන්නන් විසින් එම කෘතිවල හිමිකරුවන් වෙත නියමිත පරිදි කර්තෘභාග ගෙවීම් නොකරන බවට හඳුනාගෙන තිබේ.

එබැවින් කර්තෘභාග ලෙස අවම ගාස්තු සඳහන් නියෝග ඇතුළත් 2011.01.05 දිනැති 1687/28 දරන ගැසට් පත්‍රයේ පළ වූ 2011 අංක 01 දරන බුද්ධිමය දේපොළ නියෝග අවලංගු කර කර්තෘභාගය ලබා ගැනීමේ යාන්ත්‍රණය විධිමත් කර ගැනීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපොළ පනත යටතේ නියෝග නිකුත් කිරීම වඩාත් ඵලදායී බව පෙනී ගොස් තිබේ.

ඒ එනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නියෝග ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඒ අනුව නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ නියෝග අංක 1 හි සඳහන් වන්නේ 2019 අංක 01 දරන බුද්ධිමය දේපොළ නියෝග (ගීත සහ සංගීත කෘති) යනුවෙන් හඳුන්වනු ලැබේ’ යනුවෙනි.

මෙකී ගැසට් නිවේදනයේ අංක 2 (1) හි සඳහන් වන්නේ මෙසේය.

‘‘ගුවන්විදුලි විකාශන සංවිධානයක් හෝ ආයතනයක් රූපවාහිනී විකාශන සංවිධානයක් හෝ ආයතනයක්, විදුලි සංදේශ සේවා හෝ පද්ධති සැපයුම්කරුවකු (මින්මතු ’භාවිත කරන්නා’ යනුවෙන් සඳහන් කරනු ලබන) ඇතුළුව තැනැත්තෙක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් ගීතයක් හෝ සංගීතමය කෘතියක් හෝ එහි යම් සැලකිය යුතු කොටසක් විද්‍යුත්, ඩිජිටල් සන්නිවේදන, සම්ප්‍රේෂණය වැනි ආකාරවලින් ප්‍රති නිෂ්පාදනය කිරීම හෝ සන්නිවේදනය කිරීම සඳහා හෝ විනෝදාස්වාදය හෝ වාණිජමය පරමාර්ථ සඳහා දුරකථන මාධ්‍ය තුළ පවතින ඩිජිටල් තාක්ෂණයක් සඳහා භාවිත කරන අවස්ථාවක එම භාවිත කරන්නා විසින්, අවස්ථාවෝචිත පරිදි, එම ගීතයේ හෝ සංගීතමය කෘතියේ අයිතිවාසිකම් හිමිකරු හෝ සාමූහික සංගමය සමග එම කාර්යය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකඟවිය හැකි පරිදි කර්තෘභාගය ගෙවීම සඳහා ලිඛිත ගිවිසුමකට එළඹිය යුතුය.’’

එමෙන්ම මේ ගැසට් නිවේදනයේ ඊළඟට ගෙවීම් කළ යුතු පුද්ගලයා නිශ්චිතව හඳුනා ගැනීම, ගීත ඒකාබද්ධ කොට ගායනය (Nonstop), ගීත තනු ගායනයක් (Accapella) හෝ එහි යම් කොටසක් ගී පද සහිතව හෝ රහිතව භාවිත කිරීම ආදී බොහෝ කරුණු ගැන නියෝග මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම අති විශේෂ ගැසට් නිවේදනය අනුව රිඟිං ටෝන්ස්වලට ගීත හෝ සංගීත අනුවාදන යොදා ගැනීමේදී ද අදාළ අයිතිකරුවන්ට කර්තෘභාගය ගෙවිය යුතුය. එම නියෝගය අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 04 යටතේ දක්වා ඇත්තේ මෙසේය.

යම් භාවිත කරන්නකු විදුලි සංදේශ සේවා සැපයුම්කරුවකු වශයෙන් යම් ගී පද ආශ්‍රිත හෝ එසේ නොවන සංගීතමය හෝ සංගීතමය නොවන ගීතයක්, ගීතයක කොටසක් හෝ සංගීත කෘතියක් හෝ සංගීත තෘතියක කොටසක් හෝ ගීතයක අනුවාදනයක් හෝ එහි කොටසක් යම් ඩිජිටල් මාධ්‍යයකින් විකාශය, සන්නිවේදනය හෝ සම්ප්‍රේෂණය කිරීමේදී, එම භාවිත කරන්නා විසින් අවස්ථාවෝචිත පරිදි, අයිතිවාසිකම් හිමිකරු හෝ සාමූහික සංගමය සම්බන්ධයෙන් වන අදාළ ගෙවීම ගිවිසුමේ නියමවලට අනුකූලව කළ යුතුය.

2019 ජුනි 17 වැනි දින නිකුත්කොට ඇති මෙම ගැසට් නිවේදනය මගින් Reality Show වල ගීත ගායනය ගැන ඇති නියෝග පැහැදිලිව දක්වා ඇත්තේ අංක 5 යටතේය. එහි අංක 5 (අ) සහ 5 (ආ) ලෙස පළකොට ඇත්තේ ‘නොකළ’ යුතු කටයුතු ගැනය.

‘‘ප්‍රතිභාපූර්ණ පුද්ගලයන් තෝරා ගැනීම සඳහා රූපවාහිනී මාධ්‍ය හෝ ගුවන්විදුලි මාධ්‍ය හෝ වෙනත් යම් ඩිජිටල් මාධ්‍යයක් මගින් සංවිධානය කරන ලද යම් සංගීතමය හෝ ගීතමය තරගයකදී Reality Show යම් පුද්ගලයකු විසින්, ප්‍රකාශන අයිතිය ආරක්ෂා කර ඇති ගීතයක් භාවිත කරන අවස්ථාවකදී,

(අ) එම කාර්යය සඳහා සම්පූර්ණ ගීතයම භාවිත නොකළ යුතු අතර, අයිතිවාසිකම් හිමිකරුගේ හෝ සාමූහික සංගමයේ පුර්ව ලිඛිත අනුමතයක් නොමැතිව එම ගීතයේ ගී පද, සංගීතය, වචන හෝ ස්වර වෙනස් කිරීම නොකළ යුතුය.

එසේ වුවද, සම්පූර්ණ ගීතයම භාවිත කරන්නේ නම්, එම පුද්ගලයා විසින්, අවස්ථාවෝචිත පරිදි අයිතිවාසිකම් හිමිකරු හෝ සාමූහික සංගමය විසින් නිශ්චය කරනු ලැබිය හැකි සහ ඉල්ලා සිටිනු ලැබිය හැකි ගාස්තුවක් ඒ සඳහා ගෙවනු ලැබිය යුතුය.

එසේම තවදුරටත් අයිතිවාසිකම් හිමිකරු හෝ සාමූහික සංගමය විසින් සම්පූර්ණ ගීතයම එවැනි ගෙවීමකින් තොරව භාවිත කිරීමට ලිඛිතව අවසරය ප්‍රදානය කරනු ලැබිය හැකිය.
(ආ) අයිතිවාසිකම් හිමිකරුගේ නිසි අනුමැතියකින් තොරව තෝරා ගන්නා ලද ගීතයක පද හෝ තෝරා ගන්නා ලද ගීතයක සංගීතය වෙනස් කිරීම හෝ තෝරාගන්නා ලද ගීතයකට යම් වචන හෝ ස්වර එකතු කිරීම නොකළ යුතුය.’’

මේ අති විශේෂ ගැසට් නිවේදනයත් සමගම අපේ කලාකරුවන් කළ යුත්තේ එය කිහිල්ලේ ගහගෙන සිටීම නොවේ. ඔවුන් කළ යුත්තේ ඒවා කියවා තේරුම් ගෙන තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමය. රජයේ කටයුත්ත නීති ප්‍රතිපාදන සම්පාදනයයි. දැන් ඉතිං කලාකරුවන් කළ යුත්තේ රජයේ වියදමෙන් නඩු දමා තමන්ට වන්දි දෙනතුරු බලා නොසිට අයිතිවාසිකම් හිමිකරුවන් ලෙස නීතිමය පියවර ගෙන තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමය.

වජිර ලියනගේ