විශේෂාංග

දකුණු ආසියාවේ දෙවැනි වියපත්ම කාන්තාව ලංකවේ කෙනෙක්

දෙතුන් මසකට ඉහතදී අපි කළුතර, දොඩන්ගොඩට ගොස් බෙල්ලන කෝවිල අසල තේ කඩයෙන් කහට තේ බී ක්ලෝඩන් වතුයාය මැදින් හෙදරලිය කොටස සොයා ගමන් කරමින් සිටියමු. අපේ ගමන නිමා වී තිබුණේ වේලු පාප්පානි අම්මාගේ ලයින් කාමරයෙනි. සිය වසකට වැඩි කාලයක් ඇගේ ජීවිතය වියැකී යමින් තිබුණේ තේ ගස්වලටය. ඇය පමණක් නොව ලයින් කාමරවල දිවිගෙවන හැමෝගේම පාහේ ජීවිත පිරී ඇත්තේ දුක් කන්දරාවක වෙළීය. ඔවුන්ගේ රමණයේ සිට මරණය දක්වා සියල්ල සිදුවන්නේ ලයින් කාමරය තුළ ඉටි ​කොළ ගැසූ අඩි හතර පහේ ඉඩකය.

ලයින් කාමරයකට මුළු දිවියම සින්න කළ වේලු පාප්පානි අම්මා අප සොයා ගියේ ඇය එකසිය දාහත් වැනි උපන්දිනය පසුකරමින් සිටි නිසාය. ඇය හැඳින්වෙන්නේ දකුණු ආසියාවේ දෙවැනි වියපත්ම කාන්තාව ලෙසය.

හෙදරලිය වත්තේ පෙර පාසල් පාලිකා කේ. පුෂ්පරානි අප සාදරයෙන් පිළිගෙන පාප්පානිගේ නිවසට කැඳවාගෙන ගියාය. ගමන අතරමගදීම පුෂ්පරානි කතාවට මුල පිරුවාය. ‘මාත්තේලා’ එනවා කියලා සමෘද්ධි ​නෝනා කිව්වා. පාප්පානි අම්මටත් මම කිව්වා. එයා හරි සතුටුයි. එයාව බලන්න එනවට. එයාව බලාගන්න මහ ලෙච්චමීට කියලා අලුත් ගවුමකුත් ඇඳගෙන බලාගෙන ඉන්නවා.

ඇයට රැකවරණය සැලසුවේ එස්. මහලෙච්චමි සහ එන්. තංගයියා යුවළය.

‘ආච්චි හරි සතුටුයි. එයාව බලන්න කවුරු හරි එනවා කිව්වම.’ එස්. මහලෙච්චමි කතාවට මුල පිරුවාය. පාප්පානි ආච්චි ජීවත් වූ​යේ හෙදරලිය වත්තේ එම්. තංගයියා සහ මහ ලෙච්චමිගේ ගෙදරය. ආච්චිට දැන් වයස කීයද? මා විමසූ විට ඇය ‘මාත්තේලා ඒක දන්නවනේ’ යැයි මහ හඬින් සිනාසුනාය.

ඒ අතරතුර ඇගේ හැඳුනුම්පත් දෙකක්ද අපට ඉදිරිපත් කළ එම්. තංගයියා වේලු ආච්චිගේ මතක අවදි කළේය. ‘ආච්චි ඉපදිලා තියෙන්නේ 1903. මැයි මාසේ තුන් වෙනිදා. කඩුගන්නාවේ පැත්තේ තමයි එයාගේ මුල්ගම. ආච්චිගේ අම්මා සිංහල, තාත්තා දෙමළ. ආච්චි බුදුන් වඳිනවා. ඒ වගේම දෙවියන් අදහනවා.

ආච්චිගේ කසාද මනුස්සයා අතහැරලා අවුරුදු 18දී විතර එයා බුලත්සිංහල ගී කියන කන්ද වත්තට ඇවිල්ලා තියෙනවා. ආච්චි දැනුත් හරි හැඩකාරයි. එයාට හොඳට ලස්සනට අඳින්න ඕන. ගී කියන කන්දෙන් ක්ලෝඩන් හෙදරලියට ඇවිත් තියෙනවා. ඒ වෙනකොට ගුණසේකර කියන සිංහල කෙනෙකු සමග ජීවත් වෙලා තියෙනවා.

‘ආච්චි සිංදුවක් කියන්න බැරිද? තංගයියාගේ දිගු විස්තරය අතරතුර මා ආච්චිගෙන් ඇසීය. ‘සිංදු සිංදු පුළුවන්.’ මදක් කල්පනා කළ වේලු පාප්පානි වියපත් දෑත සෙමෙන් එකට ගසමින් ‘එක මකුණයි ළමයෝ කන්නේ. ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ.’ යැයි කියමින් මහ හඬින් සිනාසෙන්නට විය.

මගේ ළමයි පුංචි කාලේ මම රට ගියා. යැයි වේලු පාප්පානිගේ රැකවරණ සපයන තංගයියාගේ බිරිඳ එස්. මාලා ලෙච්චමි සිය අතීතය අවදි කළාය. ‘මගේ පුතා බලාගත්තා. එයාගෙම දරුවෙක් වගේ හදාගත්තා. පුතා කියනවා ආච්චිව අපේම ආච්චි වගේ බලාගමු කියලා. ආච්චි මස් මාළුවලට හරි කැමැතියි. දැන්නම් රොටි,තෝසේ, පාන් තමයි දෙන්නේ. දොට්ට පිලට යන්න බැරි නිසා ‘පැම්පස්’ අන්දවනවා.

ආච්චිට තවම හොඳට කල්පනාව තියෙනවා. එයා සිංහල සිංදු කියන්න ආසයි. නිතරම ලස්සනට අඳින්නත් කැමැතියි.

වේලු ආච්චිගේ දරුවෝ දෙන්න කොහේ ඉන්නවද දන්නේ නෑ. අවුරුදු ගාණකට කලින් රත්නපුර පැත්තේ ඉඳලා පුතා ඇවිත් බලලා ගියා. ඊට පස්සේ ආවේ නෑ. ආච්චිට ඇය කීවාය.

වේලු අම්මාගේ හැඳුනුම්පත් අංකය ලෙස සටහන්ව ඇත්තේ 0362402100ය. එය හදාගත් විදිය නම් දැන් ඇගේ මතකයේ නැත.ඇයට වැඩිහිටි හැඳුනුම්පතක් ද ඇත්තේය. එහි ඇගේ උපන් දිනය ලෙස 1903 මැයි 3 දින ලෙස සටහන්ය. මේ අනුව ඇගේ 117 වන උපන්දිනය පසු ගිය මැයි මාසයේ සැමරීමට කටයුතු යොදා තිබුණත් කොරෝනා නිසා එය යට ගියේය.

සියලු සැප සම්පත් විඳිමින් අවුරුදු හැටක් හැත්තෑවක් ජීවත්වන්නට බැරි තත්ත්වයක් තුළ කටු මැටි පැලක රොටි කෑල්ලක්, කහට උගුරක් බී අවුරුදු 117ක් ඉක්මවා නිරෝගීව ජීවත් වීම රහසකි. මේ රහස ගැන හොඳින්ම දන්නේ වසර තිහකට අධික කාලයක් වේලු අම්මාගේ දුක සැප බැලූ තංගයියාය.

‘වේලු අම්මා මේ තරම් දිගු කාලයක් ජීවත්වීමේ රහස එයාගේ හිතේ තියෙන සතුටයි. මොන තරම් ප්‍රශ්න ආවත් එයා හරි සතුටින් හිනාවෙලා ඉන්නවා. පළමු සැමියා අත්ඇරෙනවා. දෙවැනියා මිය යනවා. දරු දෙන්න ආ ගිය අතක් නැති වෙනවා. ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. නමුත් ආච්චි ඒ කිසිම දෙයක් හිතේ බරක් කරගත්තේ නෑ. තියෙන දෙයක් කාලා බීලා හරි සතුටින් ඉන්නවා. එයා ‘බජව්’ දාන්න හරි කැමැතියි. හැම වෙලාවෙම පුංචි අය වටකරගෙන සිංහල දෙමළ සිංදු කියනවා.

දෙමළ සින්දුවක් කියන්නැයි අප ඇයට ඇවිටිලි කර විට ‘අඩි යෙන්නඩි රා කාමාඩි’ යැයි දමිළ ගීතයක පද මිමුණුවාය.

ආච්චිට ලොකු ලෙඩක් දුකක් තිබුණේ නෑ. අමුතුවෙන් බෙහෙතක් ගත්තෙත් නෑ. නමුත් දැන් වයස නිසා දොට්ට පිලට යන්න බෑ. ඒත් ඉතින් ඒවාට පහසුකම් නෑ. මෙයාව බලාගන්න මහලෙච්චමි ගෙදර නතර වුණාම තුන්දෙනාම බඩගින්නේ. යැයි පුෂ්පරානි කීවාය.

පැය දෙකකට ආසන්න කාලයක් දකුණු ආසියාවේ වියපත් කාන්තාව සමග රැඳී සිට ආපසු යන්නට සූදානම් වූ විට ‘මහත්තයල ඔය යන්නද?’ යැයි ඇය ඇසුවාය. ‘ඔව්’ අපි ආයේ එනවා.’ ‘කවද්ද එන්නේ?’ ඇය යළි විමසුවාය. ‘මොනවද ආච්චිට ගේන්න ඕනා.’ යැයි අප විමසූ විට කල්පනා කරන්නට වූවාය. ‘රොටී හොඳයි.’ ඇය කීවාය.

ගෙදරදී ඇද වැටී පාදයක ආබාධයකට කළුතර මහ රෝහලේ දින කිහිපයක් නතර වී ප්‍රතිකාර ගත් පාප්පානි සුවය ලබා නිවසේ සුවෙන් සිටියාය.

නමුත් පසුගිය 29 වැනිදා අලුයම ඇය යළිත් රෝගාතුර වීම නිසා වහා කළුතර මහ රෝහලට ඇතුළත් කළාය. එදිනම රාත්‍රි ඇය අප හැර ගියාය. එදිනට ඇගේ වයස අවුරුදු 117යි මාස 7යි දින 27 කි.

‘වේලු පාප්පානි ආච්චි මට මුණගැහෙනකොට මට අවුරුදු විසිපහයි. දැන් මට හැටක් වෙනවා. පාප්පානි ආච්චි අපි හැමෝටම ආදරය කළා. මගේ අම්මා වගේ මටත්, බිරිඳටත් දරුවන්ටත් ආදරය කළා. අපි හිතුවා තව අවුරුදු තුන හතරක්වත් ජීවත් වෙයි කියලා. ඒත් පාප්පානි අපව දාලා ගියා. යැයි වයස්ගතම කතගේ භාරකරු එම්. තංගයියා කියන්නේ කඳුළු පිසලමිනි. මහා සල්ලිකාර දූ දරුවන් තම දෙමාපියන් මහ පාරට ඇද දමන කාලයක නැති වෙන්නටත්, ඇති වෙන්නටත් දෙයක් නැති වතු කම්කරු ජීවිත ගත කරන මිනිසුන් තුළ රැඳි මිනිසත්කම ඇඳුමෙන් පැලඳුමෙන් ගේ දොර අනුව මනින්නට නොහැකි බව පාප්පානිගේ අවසන් කටයුතුද ඉතා හොඳින් කරන්නට වෙරදරන හෙදරලිය වතුකම්කරුවෝ සාක්ෂි දරති.

සියල්ලන්ගේම කරමතින් අවසන් ගමන් ගිය පාප්පානි අම්මා ජනවාරි පළමුවැනිදා අඩි හයේ හයක පොළෝ කුහරයක සදාකාලික නින්දකට ගියාය.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න