කතුවැකි

ජෝෂප් ස්ටාලින් දුවටත් එපා වුණා

ජෝෂප් ස්ටාලින් දුවටත් එපා වුණා

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා

වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා

කල්ගිය රෙදි වැරළි ඇඳ දැලි කුණෙන් වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

යන කව අධ්‍යාපනය වෙනුවෙන් මෙරට ජනනාව දරන පාරම්පරික හැඟීම ද චිත්තාවලිය ද පෙන්වයි. අල්ලට තරම් දෙයක් සිඟා කකා, වල් කොළ බිම දමා නිදාගෙන දැලි ගෑවුන රෙදි වැරළි හැඳ හෝ ඉදිරි අනාගතය වෙනුවෙන් උගනිව් කියාය මෙහි කියැවෙන්නේ. මේ හැඟීම අප දරු පරපුරේද ආත්මගත බව කොරෝනා වසංගතයට යටව ගෙවෙන මේ කාලයේ අපට පෙනී ගිය දෙයකි.

අනුරාධපුරේ කලාවැව දරුවෝ ඉගෙන ගන්නේ වැව් බැම්මේ, ගස් කොටන් උඩ ඉඳගෙනය. ලග්ගල දරුවෝ අලි ඉන්නා කැලේ මැදින් වස්ගමුව වනෝද්‍යාන සීමාවට ගොසින් සිග්නල් සොයාගෙන උගනිති. ත්‍රිමලේ සිට කි. මී. 80 පමණ දුරින් තිබෙන මොරවැව දරුවෝ සිග්නල් සොයා ගන්නේ වැව් බැම්මට ගොඩ වීය. මතුගම ඕමත්තේ දරුවන්ට සිග්නල් හමු වන්නේ ගිය කෙනෙක් යළිත් නොඑන තැන ලෙස තේරවිලි බසින් අමරාදේවී මහෝෂධ පඬිතුමාට කියූ සොහොන් පිටියේදීය. වතුර ටැංකි උඩ ඉඳගෙන පාඩමේ යෙදෙන දරුවන්ගේ පින්තූර නිරන්තර පත්තරවල පළ විය. නිකවැරටිය පාරේ කුඩ ඉහලා එතැන බූස්ටරය තබා ගෙදරට වයරය ඇද Online හෙවත් මාර්ගගත අධ්‍යාපනය ලබන අයුරු අපි දුටුවෙමු.

මේ සියල්ල පෙන්නුවේ අධ්‍යාපනය කෙරෙහි අපේ රටේම ජනතාවගේ තිබෙන කැප කිරීමය. ජාතියේ අපේක්ෂාවය.

ගුරුවරුද එය තේරුම් නොගත්තා නොවේ. කොළොන්නාව ඉස්කෝලේ ඉගැන්වූ මොල්ලිගොඩ මැඩම් තමන්ගේ ගෙදර තිබූ ජංගම දුරකථනය හදා දරුවකුට ඉගෙන ගැනීමට දුන්නාය. තම ඉස්කෝලේ දූ පුතුන්ට මොබයිල් දුරකථන පරිත්‍යාග කරන ලෙස ඉල්ලා මුහුණු පොතේ දැන්වීම් පළ කර ඒවා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලාගෙන දරුවන්ට දී මේ දුෂ්කර අවස්ථාවේ ඉගැන්වූ ගුරු දෙවිවරුද අපමණය.

කොරෝනා වසංගතය තුරන් වූ සැණින් සංචාරක ව්‍යාපාරය ගැන හෝටල් හිමියාද, කර්මාන්ත ගැන කම්හල් හිමියාද, වෙළෙඳසල් ගැන ව්‍යාපාරිකයාද තබා තිබූ බලාපොරොත්තුවම දෙමාපියෝ සහ දරුවෝ පාසල ගැන තැබූහ. හෝටල්, කර්මාන්තශාලා, වෙළෙඳසල් ක්‍රියාත්මක වෙනවා සේම පාසල්ද දරුවන්ගෙන් පිරීයනු ඇතැයි ලක්ෂ හතළිස් පහකට අධික ජනතාවක් බලාපොරොත්තු වූහ. ගෙවල්වල සිරවී සිටි සිග්නල් නැති නිසා පාඩම් මග හැරුණ දරුවන්ට තිබුණේ පාසලේ ගේට්ටු ඇරෙන්නේ කවදාද යන ප්‍රශ්නය පමණය. ලක්ෂ දෙක හමාරකට නොවැඩි ගුරු පරපුර එන්නත්කරණය පටන් ගත්තේ පාසල් ඉක්මනින් විවෘත කිරීමටය.

එහෙත් දැන් ඒ බලාපොරොත්තු අත්හරින්නට සිදුව තිබේ. ඒ දෙමාපියන් කළ වරදක් නිසාද, දරුවන් කළ වරදක් නිසාද, නැතිනම් ආණ්ඩුව කළ වරදක් නිසාද?

මේ කාරණයේදී දෙමාපියන් හා දරුවන් නිදොස් කොට නිදහස්ය. වරදක් වූයේ නම් අණ්ඩුවෙනි. වරද නම් ගුරු සංගම් නායකයා උද්ඝෝෂණයක යෙදී සිටියදී අල්ලා නිරෝධායනයට යැවීමය.

ජෝෂප් ස්ටාලින් නම් මේ කුප්‍රකට ගුරු සංගම් නායකයා අන්තිමට ඉගැන්වූයේ මොන ඉස්කෝලෙද, ඔහු විෂයයන් කීයක් උගන්වා ඇද්ද යනුවෙන් පෝස්ටුවක් මුහුණු පොතේ සංසරණය විණ. සබැවින්ම ගුරු සංගම් නායකයකු වීමට ඉස්කෝලයක උගන්වන්නට ඕනෑම නැත. එහෙත් ගුරුවරයකුට තිබෙන වගකීම නම් තිබිය යුතුය.

කොරෝනා පළමු රැල්ල ආරම්භ වූ කාලයේ කොළඹ ආනන්දයට සම්බන්ධ දරුවකුගේ පවුලේ කෙනෙකුට වසංගතය බෝ වී යැයි රාවයක් යාමත් සමගම රටේම පාසල් වැසිණ. වැසුණයි කියන්නට වඩා වසන්නට මනා බලපෑමක් වූයේ යැයි කීම නිවැරදිය. කොළඹ ජාත්‍යන්තර පාසල්වල දෙමාපියෝ පාසල්වලට පැන දරුවන් ගෙදර ගෙන ගියෝය. මේ ආසන්න කාලයේ ගුරු සංගමය තම ඉල්ලීම් නොදුන්නොත් වර්ජනයකට යන බව ප්‍රකාශ කර තිබිණ. පාසල් වැසූ වහාම ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ රාජ්‍ය ගුරු වර්ජනය මග හරින්නට රටේම ඉස්කෝල වැසූ බවය. ගුරු සංගම් නායකයා සිතන්නේ ගුරු සංගමය කේන්ද්‍ර කරගෙන ලෝකය ඒ වටා කැරකෙන බවය. කැරකිය යුතු බවය. දරුවන්, පාසල් සියල්ල ද්විතීයිකය. ජෝෂප් ස්ටාලින් සහ සෙසු මනප්පුවලා ප්‍රථමය.

වරෙක පාසල් වසා තබනවාට විරුද්ධව ඔවුහු උද්ඝෝෂණය කළහ. පාසල් අරින්නට රජය තීන්දු කළ විට ඔවුන් එයට විරුද්ධ වූයේ උණ බලන උපකරණ හැම පාසලකටම ලැබී නැත, මඳය කියාය. පාසල් වැසූ විට වැසීම වැරදිය. මාර්ගගත අධ්‍යාපනය දෙන්නට සූදානම් වන විට එය වැරදිය. සියලු දරුවන්ට සිග්නල් ද, ජංගම දුරකථනද ලැබෙනතුරු එය නොකළ යුතුය.

මේ ගුරු සංගමය පසුගිය දා පාරට බැස්සේ කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිවය. එය උසස් අධ්‍යාපනයට අදාළ කාරණාවක් බව සත්‍ය වුවත් එය මෙම ගුරු සංගම් නියෝජනය කරන ක්ෂේත්‍රයට ඍජු බලපෑමක් තිබෙන කාරණයක් නොවේ. ඔවුන් එයට සම්බන්ධ වන්නේ ඕනෑම පුරවැසියකුට තමන් අකැමැති, විරුද්ධ පනතකට විරෝධය පාන්නට තිබෙන අයිතිය යටතේම මිස වෙනත් ඍජු සබඳතාවක් නිසා නොවේ. දැන් ඔහු ඉන්නේ මුලතිව්හි ගුවන් හමුදා කඳවුරක නිරෝධායනය යටතේය. දැන් ඔහු එම කඳවුරේ හිඳ විරෝධය පළ කරමින් හමුදා කඳවුරේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙන බව ලොවට පෙන්වා දෙයි. එසේම ගුරු වැටුපද නොකඩවා ලබති. කොතලාවල විශ්වවිද්‍යාලයට ජනතාව විරුද්ධ වුවද, මේ සටනේ සිටින ඇතැමකුගේ දරුවන් විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබූවන්ය. ඇතැමුන්ගේ දරුවන් ඉගෙන ගන්නවා ඇත්තේ ඔවුනගේ වර්ජන බල නොපාන ලංකාවේ තිබෙන ජාත්‍යන්තර පාසල්වලය.

එපමණක් නොව කොතලාවල විශ්වවිද්‍යාලයට එරෙහිවන ගුරුවරු රජයේ පාසල් දරුවන්ට Online ඉගැන්නුවේ නැතත් පෞද්ගලික පන්ති Online පාඩම් නම් අතහැර නැත.

ජෝෂප් ස්ටාලින් යනු දෙවන ලෝක යුද සමයේ රුසියාව පාලනය කළ නායකයාය. මේ ස්ටාලින්ගේ දුව වූ ස්වෙත්ලානා රුසියාවෙන් පලාගොස් තමා තාත්තට තිබෙන අකැමැත්ත ද දරු සෙනෙහසින් තොර කෲරකම ගැන ලොවට ප්‍රකාශ කළාය. ඉඳින් මේ ස්ටාලින් ගැනද රටේ දරුවන් සිතනු ඇත්තේ එසේය.