කතුවැකි

ගොවීන් ගැන බැලීම හොඳයි - ධීවරයන් ගැනත් බලමු

ගොවීන් ගැන බැලීම හොඳයි – ධීවරයන් ගැනත් බලමු

ගොවීන්ගේ අතිරික්ත එළවළු තොග රජය මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ දිනවල බලපැවැත්වෙන සංචරණ සීමා හේතුවෙන් ගොවීන්ගේ අස්වනු අලෙවි කරගැනීමේ දුෂ්කරතාවකට මුහුණ දී සිටින අතර පාරිභෝගිකයාට අවශ්‍ය තරම් එළවළු, පලතුරු මිලදී ගැනීමට නොහැකි වී තිබේ. ආර්ථික මධ්‍යස්ථාන විවෘත වූ පසුගිය බ්‍රහස්පතින්දා, සිකුරාදා දෙදින තුළ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පමණක් අලෙවි කරගැනීමට නොහැකිව ඉතිරි වූ එළවළු තොගය කිලෝග්‍රෑම් පන්දහසක් පමණ විය.

මෙම තත්ත්වය මත අතිරික්ත එළවළු ​තොග මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය කාලෝචිත එකකි. ආණ්ඩුව විසින් මිලදී ගන්නා එළවළු, පලතුරු තොග කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, රෝහල්, ත්‍රිවිධ හමුදා මෙන්ම අවතැන් කඳවුරු හා ජීවනෝපාය අහිමිව සිටින ජනතාවට නොමිලයේම ලබාදීම ආණ්ඩුවේ සැලසුමය.

ආණ්ඩුව ගන්නා බොහෝ වැදගත්, කාලෝචිත තීරණ ඇමැතිවරුන්ගේ ප්‍රකාශවලට පමණක් සීමා වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිවීම නිසාය. පසුගිය මාසයේ 21 දා දීර්ඝ කාලයකට සංචරණ සීමා පනවන විට ප්‍රකාශ වූයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචාරක අලෙවි රථ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය. එහෙත් තවමත් ඇතැම් ප්‍රදේශවල අවශ්‍ය තරම් භාණ්ඩ මිලදී ගන්නට ක්‍රමයක් නැත.

එළවළු හා පලතුරු ගොවියන්ගෙන් මිලදී ගැනීමේ වගකීම පැවැරී ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ටය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල යනු බඩු බෙදාහැරීම වැනි මෙහෙයුම් සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් ඇති ආයතනයක් නොව පරිපාලන ආයතනයකි. ඒ නිසා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවැරෙන මෙම රාජකාරිය සාර්ථක වීමට නම් සියලුම රජයේ ආයතනවල සහාය ඔවුන්ට ලැබිය යුතුය. එළවළු මිලදී ගැනීමේදීටත් වඩා දිස්ත්‍රික් ලේකම්වරුන් දුෂ්කරතාවකට පත්වනු ඇත්තේ ඒවා බෙදාහැරීමේදීය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සතුව නොව ව්‍යාපාරික කටයුතු කරන සතොස වැනි රාජ්‍ය ආයතනයක් සතුව පවා ඊට ප්‍රමාණවත් වාහන නැත. මීට පිළියමක් ලෙස මේ දිනවල ධාවනය නොකෙරෙන ලංගම බස් රථ යොදාගත හැකිදැයි සොයා බැලීම මේ ප්‍රශ්නයට පහසු විසඳුමක් විය හැකිය.

කැබිනට් මණ්ඩලය මේ සතියේ තවත් කාලෝචිත තීන්දුවක් ගෙන තිබේ. රේගුව මගින් රාජසන්තක කරන ලද හා ආනයනකරුවන් රේගුවේ අත්හැර දමන ලද ආහාර ද්‍රව්‍ය සතොස මගින් සහනදායී මිලකට අලෙවි කිරීමටය.

මෙම තීරණය වැදගත් වන්නේ හේතු කිහිපයක් නිසාය. රටේ කොවිඩ් තත්ත්වයක් තිබුණත් නැතත්, ආහාර ද්‍රව්‍ය අපතේ යැවීම නාස්තියකි. රටේ ආර්ථිකය අර්බුදයකට මුහුණ දී, නිෂ්පාදන අඩපණ වී, ආනයන-අපනයන කඩා වැටී ඇති තත්ත්වයක් තුළ කොතැනක හෝ ආහාර තොගයක් විනාශ වී යන්නට ඉඩ හරින්නේ නම් එය අපරාධයකි. අනෙක් අතට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා නොමැතිව වේලි වේලි තිබෙන සතොසට මේ ආකාරයට හෝ බඩු ටිකක් ලැබෙන එකය.

කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. වරායේ ගොඩ ගසා ඇති භාණ්ඩ අතරේ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත්වීමට ආසන්න ද්‍රව්‍ය ද තිබිය හැකිය. එසේම මෙම ආහාර ද්‍රව්‍ය තොග අතරේ සත්ව සහ ශාඛ ආරක්ෂණ පනත යටතේ මෙරටට ආනයනය කිරීමට තහනම් ද්‍රව්‍ය ද තිබෙන්නට හැකිය. එවැනි ආහාර ද්‍රව්‍ය වේ නම් කොයිතරම් අපරාධයක් වුවත් ඒවා විනාශ කිරීම හැර අන් විකල්පයක් නැත.

අතිරික්ත එළවළු තොග මිලදී ගන්නට තීරණය කිරීමෙන් ගොවීන් ගැන කල්පනා කළා සේම ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු තවත් පිරිසක් සිටී. ඒ ධීවරයන්ය. සංචරණ සීමා අස්සේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා ධීවරයන් පත්ව සිටින්නේ ග​හෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකටය. ඊයේ (8) පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ තොග වෙළෙඳාම සඳහා විවෘත වූ නමුත් අලෙවිය පැවැතියේ ඉතාමත් අඩු මට්ටමකය. මාළු ආහාරයට ගැනීමට ජනතාවගේ ඇති බිය තුරන් කිරීමට එහි සේවකයකු අමුවෙන් මාළු කා පෙන්වන දර්ශනයක් ද රූපවාහිනිය ඔස්සේ දැකගත හැකිවිය.

මත්ස්‍ය වෙළෙඳ පොළේ සේවකයකු අමු මාළු කෑ පමණින් ජනතාව මාළු කන්නට තීරණය කරනු ඇතැයි සිතිය නොහැකිය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා මත්ස්‍ය වෙළෙඳාමට ඇතිවිය හැකි බලපෑම අපි මීට පෙර ද මෙම තීරයෙන් පෙන්වා දුන්නෙමු. එහෙත් තවමත් ධීවර ඇමැතිවරයා හෝ අදාළ වගකිව යුත්තකු මේ ගැන නිල ප්‍රකාශයක් කර නැත.

ජනතාව මාළු කෑමට බියවී සිටින්නේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍ය මුහුදු ජලයට මිශ්‍රවීම නිසාය. නැව ගිනි ගැනීමෙන් පසු මියගිය ඩොල්ෆින් මත්ස්‍යයන් පවා ගොඩගැසීම නිසා මේ බිය දෙගුණ තෙගුණ වී තිබේ.

මෙය ඇත්තෙන්ම බියවිය යුතු තත්ත්වයක් වුවත් ඇත්තෙන්ම බිය විය යුතු නැත්තේ මේ දිනවල මීගමුව හා අවට මුහුදේ මාළු ඇල්ලීමක් සිදු නොවන නිසාය. නැවක් ගිනි ගැනීමක් සිදු නොවුණත්, අප දන්නා තරමින් හැම වසරකම මේ කාලයට එම මුහුදු කලාපයේ මාළු ඇල්ලීමක් සිදු නොවන්නේ වාරකන් සමය නිසාය. මේ නිසා මේ දිනවල වෙළෙඳ පොළේ මීගමුව මුහුදු කලාපයේ මාළු වෙළෙඳ පොළේ තිබෙන්නට ක්‍රමයක් නැත. එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානියට වන්දි අය කරගැනීමට කමිටු පත්කරන නමුත්, මාළු ගැන මේ කතාව කියන්නට ධීවර අමාත්‍යාංශයට ද අමතක වී තිබේ. අප යළිත් ඒ ගැන කියන්නේ මේ ගැන කාගේ හෝ අවධානය යොමුවේවා යන අපේක්ෂාවෙනි.