අතන මෙතන

කිරෙන් සපිරුණු රටක් වෙනුවෙන් මැදරට සුදානම්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරෙන් සපිරුණු රටක් තේමාවට සමගාමිව මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුරන්කුඹුරු ආශ්‍රිතව අතිරේක ආහාර බෝග හා සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් මාලාවක් මධ්‍යම පළාත පුරා පිහිටි මහනුවර ,මාතලේ හා නුවරඑලිය යන දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත .

එහි සමාරම්භක වැඩ සටහන පසුගියදා (14) හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුන්කුඹුර,පොල්වත්ත යන ග්‍රාම සේවා වසම්වල දී ආරම්භ කරන ලද අතර , හතරලියද්ද කතුරුගොල්ල වෙල්යායේදී අතිරේක ආහාර බෝග හා සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදි ආණ්ඩුකාරතුමාගේ සුරතින් කතුරුගොල්ල වෙල්යායේ බීජ රෝපණය කිරීම ද සිදුවිය.

පුරන් කුඹුරු අස්වද්දමින් පලාතෙන් ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබාදීමටත් , ගොවි ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කිරිමටත් මෙවැනි වැඩසටහන් කල් නොදමා ක්‍රියාත්මක කලයුතු බවත් , මෙම ජාතික වගකීම ජය ගැනීමට හැකි සෑම සහයක්ම ඉදිරියේදී ලබාදෙන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසිය .

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සුජාතා විජේසිංහ , සත්ව නිෂ්පාදන හා සෞබ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.පි.රාජනායක , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලෙමුල්ල , හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර කෘෂි කමිටු නිලධාරින් හා ගම්වාසීන්ගේ ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

 

ජානක එස්.බණ්ඩාර