කතුවැකි

කිරිපැණි නැතත් සුබ අලුත් අවුරුද්දක් උදා වේවා!

අදින් උදාවන නව වසර සනිටුහන් කරන්නේ නව වසරක පමණක් නොව නව දශකයකද ආරම්භයකි. සාමාන්‍යයෙන් වසරක් ගෙවී නව වසරක උදාව ඉතාමත් ප්‍රීතිදායක සැණකෙළි සිරි ගන්නා අවස්ථාවක් වුවත් මෙවර නව වසර උදාව ඉන් වෙනස් වී තිබේ. කොරෝනා විසින් සාද, සම්භාෂණ, උත්සව වළක්වා ඇති නිසා මෙවර නව වසර උදාව සැමරෙන්නේ තරමක ඇල්මැරුණු ස්වභාවයකිනි. ගෙවී ගිය වසරේ දින 365 න් වැඩි දින ගණනාවක් ගෙවන්නට සිදු වූයේ කොරෝනා භීතිය සමගය. ඒ අතරින් මාස කිහිපයක් නිවාස අඩස්සියට පත් වූ විලාසයෙන් ගෙවන්නටද සිදු විය.

සාමාන්‍යයෙන් නව වසරක් උදාවෙද්දී ගෙවී ගිය වසරේ අත්විඳින්නට සිදු වූ සියලු දුක්ඛ දෝමනස්සයන් අමතක කරන නමුත් මෙවර නම් ඊටද ඉඩක් නැත. පසුගිය වසරේ අපගේ ජීවිතවලට අඳුරක් එක්කරන්නට හේතු වූ කොරෝනා අවදානම තවමත් පහව ගොස් නොමැති බැවිනි. එසේම කවදා මේ අවදානමෙන් ගැලවෙන්නට හැකි වේදැයි කියන්නට කිසිවකුට නොහැකි නිසා ඇතිව තිබෙන අවිනිශ්චිතතාවද නව වසර උදාව සැමරීමකින් තොරව පිළිගන්නට සිදුව තිබේ.

කෙසේ වුවත් කොරෝනා වයිරසය විසින් සමස්ත ලෝකවාසී ජනතාවගේ ජීවිතවලට උගන්වා ඇති පාඩම් අදින් උදාවන නව වසර වඩා අර්ථාන්විතව ඵලදායී ලෙස ගත කිරීමට හේතුවනු ඇත. මිනිසා විද්‍යාවෙන්, තාක්ෂණයෙන්, දැනුමෙන් මොනතරම් දියුණුවක් අත් කරගෙන ඇතත් ඔහුට ස්වභාවධර්මය පරදවන්නට නොහැකි බව කොරෝනා අපට ඉගැන්වූ පළමු පාඩමය. මේ නිසා උදා වූ වසරේ හෝ මිනිසා ස්වභාව ධර්මය අතික්‍රමණය කරන්නට කල්පනා නොකරන්නේ නම් හෝ ඊට යම් සීමාවන් පනවා ගන්නේ නම් සතුටෙන්, සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මිනිසා කොයිතරම් උපභෝග පරිභෝග වස්තූන් රැස් කළත් ඒ කිසිවකට ජීවිතයට ඇති වටිනාකම නොමැති බවද කොරෝනා අපට පසක් කර දී තිබේ. මිනිසකු ලෙස ජීවත් වීමට අවශ්‍ය වන්නේ මහා සම්පත් හෝ ධනය නොව ඉතාමත් සරල අවශ්‍යතා කිහිපයක් පමණක් බව අප මේ වසරේදී හෝ තේරුම් ගත යුතුය.

මිනිසකුට ලැබිය හැකි පරම ලාභය වන්නේ නිරෝගීකම බව බුදුරජාණන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කළේ අදින් වසර දහස් ගණනකට පෙරය. අප විසින් නොසලකා හැරුණු මේ කාරණයද කොරෝනා වයිරසය විසින් යළි අපට සිහිපත් කර දී තිබේ. මේ පාඩම කො​රෝනා වයිරසයෙන් බේරී සිටීමට අදට පමණක් නොව හෙට අනිද්දාට ද වැදගත් සිහිපත් කිරීමකි.

කොරෝනා වයිරසය අපට ‍භෞතිකව එක් රැස් වීමට ඇති අවකාශය අසුරා ඇතත් එකමුතුව ලොකුම ශක්තිය බව ද මතක් කර දී ඇත. දේශීය වශයෙන් අපට මේ තරමින් හෝ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකිව තිබෙන්නේ රජයේ නිලධාරින්, ආරක්ෂක අංශ, සෞඛ්‍ය සේවා හා ජනතාව යන සියලු දෙනාගේ දායකත්වයෙන් හා කැපවීමෙනි. ලෝකයේ රට රටවල් අතර වෙළෙඳාම හා බලය සඳහා සීතල යුද්ධ තිබුණේ වුවද, කොරෝනා මර්දන සටනේදී ඔවුන් ඒ තරහ මරහා අමතක කළහ. වයිරසයට එරෙහි සටනේ ආරම්භයේ සිටම සියලු රටවල් තොරතුරු සහ සම්පත් හුවමාරු කර ගැනීම, කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට හේතුවක් විය. එසේම වයිරසය නසන ඖෂධ සොයා ගැනීම, නිපදවීම හා බෙදා හැරීම සිදුවන්නේ ද සියලු රටවල එකඟතාව හා සහයෝගයෙනි. තනි රටකට හෝ දෙකකට ඒ සඳහා තවත් වසරක් දෙකක් ගතවන්නට ඉඩ තිබේ.

කොරෝනා වයිරසයට මුහුණ දෙමින් නව සාමාන්‍යකරණයට යොමු වීම තළ අප රට තුළ ද නව සංකල්ප, අදහස් හා නිරීක්ෂණ ද විශාල වශයෙන් බිහි වී තිබේ. මාර්ගගත ඉගැන්වීම, අන්තර්ජාල වෙළෙඳාම, ඖෂධ බෙදා හැරීම, ගෙවතු වගාව, නිවසේ සිට රාජකාරි කිරීම, කොරෝනා සමයේ ප්‍රවර්ධනය වූ සංකල්පයන්ය. මේ කාලය තුළ අත සේදීමේ සිට විෂබීජහරණය දක්වාත්, මුහුණු ආවරණයේ සිට සෞඛ්‍යාරක්ෂිත කබා නිෂ්පාදනය දක්වාත් විවිධ භාණ්ඩ හා සේවා සැපයීමට නව යන්ත්‍ර සූත්‍ර හා ක්‍රමවේදයන් බිහිව තිබේ.

රටට ගැළපෙන අපටම අනන්‍ය වූ ආර්ථික මොඩලයක් අවශ්‍ය බව කොරෝනා නිසා අවධාරණය කෙරුණු ප්‍රධාන කාරණයකි. වර්තමාන ලෝක සංදර්භය තුළ කිසිදු රටකට තනිව ජීවත් විය නොහැකි නමුත් ලෝකයේ අනෙකුත් රටවල්ද කොරෝනා වයිරසයේ බලපෑම නිසා තම තමන්ගේ ආර්ථික රටාවන් වෙනස් කරන්නට කල්පනා කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

අප රටට කොරෝනා උවදුර පැමිණියේ රටේ ආර්ථිකයට වෙනසක් අවශ්‍යව සිටි මොහොතකය. පැවති නව ලිබරල් ආර්ථික රටාව කිසිසේත්ම රටට හෝ ජනතාවට හිතකර එකක් වූයේ නැත. ඒ ක්‍රමය විසින්ම නිර්මාණය කෙරෙන අල්ලස, දූෂණය හා නාස්තිය රටේ ආර්ථික පසුබෑමට ප්‍රධාන හේතුවකි. කොරෝනා වයිරසය ඒ දූෂිත ආර්ථික රටාව වෙනස් කර ගැනීමට අවස්ථාවක් උදාකර දී තිබේ. නව වසරක ආරම්භය ඒ වෙනස ක්‍රියාත්මක කරන්නට ඇති මහඟු අවස්ථාවකි.

මේ අනුව බලන විට කොරෝනා අපට නව වසර සැණකෙළි සිරියෙන් සමරන්න ඇති අවස්ථාව අහිමිකර ඇතත් නව වසර, ගෙවී ගිය වසරට වඩා යහපත්, සාර්ථක එකක් කර ගන්නට අවස්ථාවන් විශාල ප්‍රමාණයක් උදාකර දී තිබේ. මේ වන විට බටහිර රටවල් පමණක් නොව අසල්වැසි ඉන්දියාව පවා කොරෝනා එන්නත භාවිතයට ගන්නට පටන් ගෙන ඇත. මේ වසරේ මාර්තු මාසය පමණ වන විට එම එන්නත ශ්‍රී ලංකාවටද ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවහොත් රෝගය පාලනය දැනට වඩා කිහිප ගුණයකින් වේගවත් කර ගැනීමට අපට හැකිවනු ඇත. එසේ නම් අදින් උදා වූ නව වසර, ගෙවී ගිය 2020 තරම් අසුබදායී වීමට හේතුවක් නැත. ඒ නිසා උත්සව, සැණකෙළි නැතත් උදා වූ නව වසර සතුටින් භාර නොගන්නට හේතුවක්ද නැත.

උදා වූ නව වසර ලක්වැසි සියලු දෙනාට සුබ නව වසරක් වේවා!