අතන මෙතන

කනගරායන්කුලමේ එල් ටි ටි බැංකුව පැවති ස්ථානයේ කැනීම් ආරම්භයි

එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ එල් ටි ටි බැංකුව පැවති ස්ථානය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ ඊයේ(15) කනගරායන්කුලම පොලිස් නිළධාරීන් කැනීම් කරනු ලැබීය.

එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරිව පැවති අවස්ථාවේ එල් ටි ටි සංවිධානයේ බැංකුව පැවති වවුනියාව,කනගරායන්කුලම නගරයේ ස්ථානයක් හැරීම සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු 13 වැනිදා අත්අඩංගුවට ගැනීමේන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කිරීම වෙනුවෙන් පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගැණින.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නිළධාරීන්,පුරාවිද්‍ය නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන්,ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි ඇතුළු කණ්ඩායමක් ඉදිරියේ කැනීම් කටයුතු සිදුකෙරිණ.

කැනීම් කටයුතු පැය හතරක පමණ කාලයක් සිදුකළ අතර අදාළ ස්ථානයෙන් කිසිවක් හමු නොවිණ.

පොලිසිය පැවසූවේ මීට පෙරද ජාවාරම්කරුවන් පිරිසක් එල් ටි ටි සංවිධානයේ රත්රන් හා මුදල් අදාළ ස්ථානයේ පවතින බවට විශ්වාස කොට කැනීම් සිදුකොට තිබු බවයි.

පොලිසිය පැවසූවේ එල් ටි ටි සංවිධානය ක්‍රියකාරීව පැවති අවස්ථාවේ එල් ටි ටි සංවිධානයේ බැංකුවක් කනගරායන්කුලම නගරයේ ස්ථාපිත කොට තිබි ඇති බවත්, අදාළ ස්ථානය කණ්ඩායමක් කැනීම සිදුකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් කැනීම වෙනුවෙන් යොදාගත් අලවංගු,උදළු,පුජා භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

එල් ටි ටි බැංකුව පැවති ස්ථානය අයත්ඉඩමේ අයිතිකරු විදේශගතව ජිවත්වන අතර,අදාළ ඉඩමේ ආරක්ෂාව කිලිනොච්චිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තාවකාලිවක සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.

අදාළ පුද්ගලයා තවත් පුද්ගල කණ්ඩායමක් සමඟ එක්ව ඉඩම කැනීම් කොට ඇති බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් තිබිණ.

අනතුරුව පොලිස් නිල සුනඛයින් යොදාගෙන සැකකරුවන් දෙදෙනෙකුද,ඔවුනගෙන් ලදතොරතුරක් මත තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හිටපු එල් ටි ටි සාමාජිකයින් දෙදෙනෙකු වන බවද පොලිසිය අනාවරණය කොටගෙන ඇත.

 

මාධව කුලසූරිය