කතුවැකි

කණ්ඩලම හෝටලයේ හඬ වරාය නගරයෙන් ඇහෙන දිනය

ආවෘත ආර්ථික ක්‍රමයක් ගෙන ගිය සමගි පෙරමුණු ආණ්ඩුව 1977 පරාජයට පත් වූ පසු යළි හිස එස වූයේ ඉතා අමාරුවෙනි. විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වසර දාහතක්ම ආණ්ඩුව කරගෙන ගියේය. එපමණ කාලයක් එම පක්ෂයට ආණ්ඩුව කරගෙන යාමට හැකිවූයේ මැතිවරණ දූෂණ, විපක්ෂය මර්දනය කිරීම ආදී වැඩවලින් පමණක් නොවේ. 1977 කලින් තිබූ ආවෘත ආර්ථික ක්‍රමය ගැන ජනතාවට මතක් කර බිය ඇති කිරීමද යූඑන්පී ආණ්ඩුව බලයේ හිඳීමට එක හේතුවක් විය.

හෝටල්වල සතියට දින දෙකක් බත් දෙන්නේ නැත. පුද්ගලයකුට උදේට ලැබෙන්නේ පාන් කාලයි. ගමකින් ගමකට හාල් සේරු දෙකකට වඩා ගෙන ගියහොත් මල්ලට පොල්ලක් දමා මැන අත්අඩංගුවට ගනියි. භාණ්ඩ ගැනීමට පෝලිමේ ඉන්නට සිදු වෙයි. මේ ආකාරයට ආවෘත ආර්ථික ක්‍රමය යටතේ විඳි දුක් මතක් කර ජනතාව බිය වැද්දීමට ආණ්ඩුව කටයුතු කළේය. බඩු හිඟයෙන් පීඩා විඳිමින්ද ඒවා මිලට ගැනීමට පෝලිම්වල රස්තියාදු වෙමින්ද ජීවත් වූ ජනතාව විවෘත ආර්ථිකය යටතේ ආ නිදහස් වෙළෙඳපොළ යටතේ හොඳ ජීවිතයකට අවතීර්ණව උන්හ.

එහෙත් විවෘත ආර්ථිකය විසින් ඇති කළ සදාචාරමය සහ පරිභෝජනවාදී ජීවන රටාවට දැවැන්ත විරෝධයක්ද එල්ල විණ. මහාචාර්ය සරච්චන්ද්‍ර ‘‘ධර්මිෂ්ඨ සමාජයක්’’ නමින් ලියූ පොතේ එක් ඡේදයක් මෙසේය.

‘අලුත් පන්නයේ කාර් ප්‍රභංගුර තුනී වානෙන් හා තුනී ලෑල්ලෙන් සැදුම් ලද්දේය. එහෙත් අසුන්වල වාඩි වූ විට පුළුන් ගොඩක් මත වඩි වූවා සේ මුළු සිරුරම කිඳා බසී. ගමන්ගත් විට වලාකුළක පාවෙන්නා සේ දැනේ. කිසිදු හැලහැප්පීමක් නොදැනී වාත වේගයෙන් ගමන් කළ හැකිය. තවත් ඕනේ නම්, යන අතර කන් පිනවීමට රේඩියෝව දමාගත හැකිය. ගත සරතැස නොදැනී ගමනේ කෙළවරට පැමිණිය හැකිය.

තමන්ගේ රථයෙහි මෙවැනි ගුණාංග මොකටද? ඒ තරම් වේගයෙන් යන්නේ මොකටද? ගමනක් යන ස්වල්ප වේලාවකට පශ්වාද්භාගයට එතරම් සැප අවශ්‍යද?’

අද වාහන ආසන කුෂන් කිරීම හෝ වායු සමීකරණය කිරීම අවශ්‍ය දැයි ඇසුවොත් සිනා නොමසෙන කෙනකු සෙවීම කළුනික සෙවීමටත් වඩා අමාරු වෙනු ඇත.

කෙසේ වෙතත් මේ විවෘත ආර්ථික ක්‍රමය නූතනත්වය සමග ගළපමින් ඉදිරියට ගෙනයා හැක්කේ එක්සත් ජාතික ආණ්ඩුවකට පමණය, එය ශ්‍රීලනිපයත් වමේ පක්ෂවලටත් නොහැකිය යන විශ්වාසය එදා කා තුළත් පැවතිණි, විවෘත ආර්ථික ක්‍රමයට දක්වා තිබූ විරෝධය නිසා එම අර්ථ ක්‍රමය ලෝක යථාර්ථයක් වුවත් එය පිළිගන්නා බව කීමට, විරුද්ධ පක්ෂයේ කණ්ඩායම්වලට හැකියාවක් නොතිබිණ. එහෙත් බලයට ඒමට නම් පවතින ආර්ථිකය පිළිගන්නා බව කිව යුතු තැනට විපක්ෂය පත්වෙමින් තිබිණ. ඒ අනුව 1994දී ශ්‍රීලනිපයද වමේ පක්ෂද සමග පොදුජන එක්සත් පෙරමුණ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙමින් ඉදිරිය යන බව කීවේය. විදේශ ආයෝජන ප්‍රතික්ෂේප කළ යුතු නැත. ඒවා ගෙන්වා ගෙන ඒ සමග එන තාක්ෂණයද යොදා ගෙන දේශීය කර්මාන්ත නංවාලීමට යොමු කළ යුතුය. එසේම අපට වුවමනා හැටියට ඒ ආයෝජන පාලනය කළ යුතුය. මෙමගින් විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දිය හැකිය යන මතය යූඑන්පී විරෝධී බලවේග පිළිගත්තේය. එහෙත් දැඩි අන්තවාදීන් කීවේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් යනු රීරි යකාට මනුෂ්‍යය මුහුණක් සවි කිරීමක් බඳු බවය. කෙසේ වෙතත් මේ ලෝක යථාර්ථය පිළිගත් මැතිවරණයේදී විවෘත ආර්ථිකය ගෙනා යූඑන්පීය පරාද කරමින් පොදු පෙරමුණ ජය ගත්තේ විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දී රටට ගැළපෙන අයුරින් යොදා ගනී යන විශ්වාසයෙනි.

කෙසේ වෙතත් එදා විවෘත ආර්ථිකයට මාරාන්තික විරෝධය පෑ කිසිදු පාර්ශ්වයක් අද විවෘත ආර්ථිකයට විරෝධය පාන්නේ නැත. නමුත් 1994 යූඑන්පීයෙන් බලය උදුරා ගැනීමේදී ප්‍රගතිශීලී පාර්ශ්වත් කියූ මානුෂික මුහුණුවර තවමත් ජනතාව අපේක්ෂා කරති.

හම්බන්තොට වරාය විකිණීමේදී වේවා වරාය නගරය ක්‍රියාත්මක කිරීමේදී වේවා ජනතාව බලාපොරොත්තු වන්නේ එයය. එසේම විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දුන් මුල් අවදියේ එයට එරෙහි නැගුණු සටන්පාඨවල පාටද දැන් වෙනස්ය. එදා විවෘත ආර්ථිකයට විරෝධය පෑවේ ජනතාව සතු සම්පත් කොල්ලකෑමත්, වැඩ කරන පන්තියේ සූරාකෑමත් එයින් සිදුවන බව කියමිනි. අද විවෘත ආර්ථිකය යටතේ කටයුතු කරන විට විරෝධය පාන්නේ රටේ ස්වාධීනත්වය ගැන කියමිනි. රටට රට අහිමි වේ නම් එයට දැඩි විරෝධයක් පෑම මේ බිමේ උපන් හැම පුරවැසියාගේම යුතුකමකි. එහෙත් කොළඹ වරාය නගරය චීනයට බදු දීම ගැන ඇලෙයිනා ටෙප්ලිට්ස් ඇමෙරිකානු තානාපතිනිය විරෝධය පෑවේ එයින් ලංකාවේ ස්වාධීනත්වයට හානි වෙන බව කියමිනි. ඇමරිකානු තානාපතිනියගෙන් පසු ඇහැරුණු විරෝධතා දක්වන ඇතැම් වමේ පක්ෂ කතා කරන්නේද ඇමෙරිකාව කතා කළ දේමය.

මකරාක්ෂ නාටකයේ මෙවන් දෙබසක් වෙයි.
‘‘අපිව පාලනය කරන්න මකරෙක් ඉන්න නිසා වෙන මකරෙක් අපිව කන්න එන්නෙ නෑ. අපිට මේ ඉන්න මකරා හොඳයි. මකරට ජය වේවා’’
කොළඹ වරාය නගරය චීනයට දීමට එරෙහිවීමේ තේරුම එය විය හැකිය.

කෙසේ වෙතත් කිසිදු පක්ෂයක් පාර්ශ්වයක් දැන් විදේශ ආයෝජන නරක යැයි කියන්නේ නැත. එසේ වුවත් තමන්ගේ පක්ෂයට දේශපාලනයට වාසි වන ආකාරයට මේ ප්‍රශ්න ජනතාවට පැහැදිලි කර උසි ගැන්වීමේ වෙනසක්නම් වී නැත.

කණ්ඩලමේ හෝටලයක් හැදූ කාලයේ එයට එරෙහිව මාරාන්තික විරෝධයක් ශ්‍රීලනිපය, වමේ හා ප්‍රගතිශීලී පක්ෂ ද තහනම් කර තිබුණත් ජවිපෙද ගෙනගියහ. කණ්ඩලම වැව අසල හෝටලය පිහිටුවුවහොත් දඹුල්ලේ ගොවි ජනතාවට වැවේ වතුර අහිමි වෙයි. වැව සිඳේ. හෝටලයේ කුණු ජරාව නිසා වැවේ ජලය දූෂණය වෙයි, හෝටලයට සුද්දො එන නිසා කණ්ඩලමේ කෙල්ලකට නාන්නට වැවට බසින්නට බැරිවෙයි. වන සම්පතද, අලි සම්පතද ​ ප්‍රදේශයෙන් තුරන් වෙයි. දඹුල්ල පූජා භූමිය කෙළෙසී එය ජාතියට අහිමි වෙයි.

මේ කණ්ඩලමේ හෝටලයක් දැමුවොත් වෙන දේ ගැන කියමින් අප නැගූ සටන් පාඨය. එහෙත් ඒ කිසිවක් නැතිවම දැන් කණ්ඩලම හෝටලය පවතී. දැන් එහි එදා සටන් පාඨ කියූ අයත් ඔවුන්ගේ දූදරුවොත් ඉඳහිට විවේකයට යති. එදා කණ්ඩලම හෝටලයට එරෙහිව සටන් කළ අයට අද එය මාර ලස්සන හෝටලයකි. ඔවුන්ගේ දූපුත්තු එහි ආලින්දයට වී ඈත අලි බලමින් Wow යැයි කියති. අද විරෝධය පානා අයගේද, ඔවුන්ගේ දූ දරුවන්ගේද WOW හඬ වරාය නගරයෙන් නොඇසේ යැයි කියන්න පුළුවන් කාටද?