කතුවැකි

ඔන්ලයින් ඉගෙනීම වධයක් වුණේ ඇයි?

කොවිඩ් වසංගතය සමග ක්‍රියාත්මක වූ බො​හෝ දේ අතරින් එකක් වන ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සිසුන්ට, දෙමාපියන්ට මෙන්ව ගුරුවරුන්ටද මල වධයක් බවට පත්ව තිබේ. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ වරදක් නිසා නොව අප එය භාවිත කරන ආකාරය නිසාය. අපේ ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාත්මක වන ආකාරය දකින විට සිහිපත් වන්නේ වඳුරාට දැලි පිහිය දුන්නා වැනි යැයි කියන කියමනය.

ඔන්ලයින් අධ්‍යාපනය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන අධ්‍යාපනය ලබාදීමේ පහසු ක්‍රමයක් වුවත්. එය කෝකටත් තෛලයක් ලෙස සැලකිය නොහැකිය. මේ නිසා කිසිසේත්ම පාසලින් දරුවකුට ලබාදෙන අධ්‍යාපනය හා ශික්ෂණය ඔන්ලයින් හරහා ලබාදිය නොහැකි බව අප තේරුම් ගත යුතුය.

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේදී අප රටේ සම්පත් විරමනාව, තාක්ෂණයේ ප්‍රශ්න, තාක්ෂණය නොදැනීම පිළිබඳ ප්‍රශ්න ගැන අපද මීට පෙර කතා කර තිබේ. එහෙත් තවමත් ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නට ගස් ගල් උඩ නගින්නට සිදුවන දරුවන් ගැන ප්‍රවෘත්ති අසන්නට – දකින්නට ලැබේ.

ඔන්ලයින් අධ්‍යාපන අවස්ථාව වරප්‍රසාදයක් ලෙස සැලකෙන නමුත් එම අවස්ථාව ඇති දරුවන් හා දෙමාපියන් ඒ නිසා විඳින දුක දන්නේ නම් එම අවස්ථාව අහිමි දරුවන් දුක්වෙනවා වෙනුවට සතුටෙන් පිනායනු නිසැකය.

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය පන්ති කාමර අධ්‍යාපන ක්‍රමයට විකල්පයක් වුවත්, එය ප්‍රාථමික ශ්‍රේණියේ සිට උපාධි මට්ටම දක්වා එකම ආකාරයට සුදුසු වන්නේ නැත. නමුත් අප දැන් ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ටද ඔන්ලයින් ක්‍රමයට උගැන්වීමට උත්සාහ දරමින් සිටිමු. මෙයින් සිදුවන්නේ ඒ දරුවන්ට අධ්‍යාපනයක් ලැබීම නොව ඔවුන් මානසික රෝගීන් බවට පත්කිරීමය. මෙම තත්ත්වය දරුවන්ට වසරකට දෙකකට අධ්‍යාපනය අහිමිවීමට වඩා බරපතළ තර්ජනයකි.

කොවිඩ් නිසා ඇතිවන මානසික පීඩනය කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ද ඇතුළුව සමාජයේ සියලු දෙනාටද පොදු කාරණයකි. මේ නිසා ඔන්ලයින් ඉගැන්වීමෙන් අපේක්ෂා කළ යුත්තේ විෂය කටපාඩම් කරවීම හා විභාග පැවැත්වීම යන ඒකාකාරී අධ්‍යාපන කටයුතුවලට වඩා දරුවන්ගේ මානසික සෞඛ්‍යය යහපත්ව තබා ගැනීමට ආධාර කිරීමය. මානසික අවපීඩනය නිසා දරුවකු සියදිවි නසාගත් පුවතක්ද පසුගිය දිනෙක වාර්තා විය. එසේ තිබියදීත් අපේ අධ්‍යාපන බලධාරීන්ට සහ ගුරුවරුන්ට අවශ්‍ය වී ඇත්තේ ඔන්ලයින් හෝ උගන්වා තමන්ගේ වගකීමෙන් නිදහස් වීමටය. අඩුම වශයෙන් තමන් උගන්වන දේ දරුවන්ට අවබෝධ වන්නේද හෝ කියා කල්පනා නොකරන ගුරුවරුද සිටිති. ඔවුන් කියන්නේ තමන් උගන්වන්නේ තමන් කියන දේ තේරුම් ගත හැකි අයට පමණක් බවය.

කොවිඩ් නොමැති තත්ත්වය තුළදීත් අප රටේ සිසු දරුවන් පසුවූයේ බලවත් ආතතියකිනි. දෙමව්පියන් හා ගුරුවරුන් ඔවුන් මත පටවන පීඩනය නිසාය. සංචරණ සීමා පනවා තිබෙන නිසා දැන් දෙමාපියන්ට පෙරටත් වඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මැදිහත් වන්නට අවස්ථාව ලැබී තිබේ. දෙමාපියන්ගේ මේ මැදිහත්වීමද දරුවන්ට පමණක් නොව ගුරුවරුන්ගේද ආතතිය වැඩි කිරීමට හේතුවකි.

ඔන්ලයින් ඉගැන්වීම දරුවන්ටත්, දෙමාපියන්ටත් මල වධයක් වන්නට තවත් හේතුවක් වන්නේ ඊට කාලවේලාවක් නොමැතිකමය. බොහෝ ගුරුවරු උගන්වන්නේ ඒ සඳහා සුදුසු වැඩි දෙනාට පහසු වේලාවට නොව තමන්ට පහසු වේලාවටය. ඇතැම් ඔන්ලයින් පන්ති ආරම්භ වන්නේ පාන්දර පහට හයටය. රෑ දහය දොළහට අවසන් වන ඔන්ලයින් පන්තිද තිබේ.

ඔන්ලයින් පන්ති කෙරුවාව දරුවන්ටත්, දෙමාපියන්ටත් එපා වන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ටියුෂන් පන්තිය. ඔන්ලයින් ඉගැන්වූවාට පන්ති ගාස්තුවල අඩුවක්ද නැත. සුපුරුදු පරිදිම දරුවන්ට වැඩිම කාලයක් වැය කරන්නට සිදුව ඇත්තේද ටියුෂන් පන්ති සඳහාය. මේ අතර ඇතැම් පාසල් ගුරුවරුන්ද තමන්ගේ ටියුෂන් පන්තිවලට පාසලේ සිසුන් බඳවා ගැනීමට දැඩි උනන්දුවක් දක්වමින් සිටිති. වෙනදා අමතර පන්තියට එක් නොවන සිසුවාට පාසලේ පාඩමේදී ඇත්තේ අඩු සැලකිල්ලකි. මේ නිසා දරුවාට වෙනසක් සිදුවෙතැයි බියෙන් යුතුකමට පාසලේ ගුරුවරයාගේ අමතර පන්තියට දරුවා සහභාගි කරවීමටද දෙමාපියන්ට සිදුවේ. මේ නිසා දරුවාට පාසල, ටියුෂන් පන්තිය සහ පාසලේ ගුරුවරයාගේ පන්තිය යන පන්ති තුනකට ඔන්ලයින් තාක්ෂණය හරහා සහභාගි වීමට සිදුවීම නිසා නිවනක් නැත.

කොවිඩ් වසංගතය නිසා කරන්නන් වාලේ ඔන්ලයින් ඉගැන්වීම ආරම්භ නොකර සැලසුම් සහගතව ඔන්ලයින් ඉගැන්වීම ආරම්භ කළේ නම් දරුවන්, දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද මේ ආකාරයට අපහසුතාවට පත්වන්නේ නැත. එහෙත් අපේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ ඇති අවුල් සහගත භාවය අනුව ඔන්ලියින් ඉගැන්වීම පමණක් පිළිවෙළකට කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ කෙ​සේද?

ඔන්ලයින් ඉගැන්වීමේ පවතින අවුල් සහගත තත්ත්වය නිරවුල් කිරීමට දැන් ප්‍රමාද වැඩිය. එහෙත් තවත් කාලයක් යනතෙක් මේ ක්‍රමයට ඉගැන්වීමට සිදුවුවහොත් නම් මේ වැරදි නිවැරදි කිරීමට අනිවාර්යයෙන්ම ක්‍රමයක් සොයාගත යුතු වනු ඇත. එසේ නොවුණහොත් සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනටමත් විඳින මානසික පීඩා තවත් උග්‍රවිය හැකි නිසාය. අනෙක් අතට අද හෙට සංචරණ සීමා ලිහිල් වී රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද, ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය අමතක කර දැමිය යුතු නැත. අනාගතයේ යම් දවසක කුමන හේතුවක් නිසා හෝ යළිත් මෙවැනි අවශ්‍යතාවක් මතුවුවහොත් ක්‍රමයකට, පිළිවෙළකට ඔන්ලයින් ඉගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කර තැබීම අපේ අනාගත පරම්පරාවේ යහපත පිණිස හේතුවනු ඇත.

දැන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමයේ අවුල් නිරවුල් කරන්නට ප්‍රමාද වැඩි නමුත් අධ්‍යාපන බලධාරීන් කළ යුතුම වැඩක් තිබේ. කොරෝනා තත්ත්වය හා ඔන්ලයින් අධ්‍යාපනය නිසා පීඩාවට පත් දරුවන්ගේ මානසික සුවය සඳහා සුදුසු පියවරක් ගැනීමය. යළි සාමාන්‍ය පරිදි පාසල් විවෘත වූ මො​හොතේ සිට සුපුරුදු අධ්‍යාපන තරගයට සිසුන් ඇද දැමීම කිසිසේත්ම නොකළ යුත්තකි. යළි පාසල් විවෘත කිරීමට පෙර දැන් සිටම ඒ ගැන කල්පනා කළ​හොත් සුදුසු වැඩපිළිවෙළක් සකස් කරගැනීමට ඇති තරම් කාලය තිබේ.