කතුවැකි

එක නීතියක් ඇතිවන තෙක් කොවිඩ් තුරන් කිරීම සිහිනයකි

එක නීතියක් ඇතිවන තෙක් කොවිඩ් තුරන් කිරීම සිහිනයකි

සංචරණ සීමා පනවා මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් දැකගන්නට නැත. මෙයට හේතුව ලෙස ඇතැමකු පෙන්වන්නේ ජනතාව සංචරණ සීමා නොතකා කටයුතු කිරීමය. මේ නිසා සංචරණ සීමා වෙනුවට ඇඳිරි නීතිය පැනවිය යුතු යැයි කියන අයද සිටිති. ජනතාව සංචරණ සීමා නොතකා කටයුතු කරන බව ඇත්තකි. එහෙත් ජනතාව එසේ හැසිරෙන්නේ ඇයි දැයි කිසිවකු කියන්නේ නැත. ඇතැම් විටක තීන්දු තීරණ ගන්නා අයට ඒ ගැන දැනුමක් නැති නිසා විය හැකිය. ඔවුන්ගේ දැනුවත්වීම සඳහා පොදු ජනතාව සංචරණ නීති බල්ලට දමන්නට හේතු වී ඇති ආසන්න සිදුවීම් කිහිපයක් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ දැනුවත්වීම සඳහාය.

රටපුරා මත්පැන් හල් වැසී ගියේ සංචරණ සීමා පැනවීමත් සමගය. එහෙත් ඇතැම් තැනක හොර රහසේ මත්පැන් විකුණන බව දැනගත් පසු සුරාබදු දෙපාර්තමේන්තුව රටපුරා මත්පැන්හල්වලට මුද්‍රා තබන්නට පියවර ගත්තේය. එහෙත් දැන් තරු හෝටල්වල මත්පැන් හල් විවෘත කොට ඇත. සංචාරකයන්ද නැති රටේ තරු හෝටල්වල මත්පැන් හල් විවෘත කරන්නේ කා වෙනුවෙන්ද? සංචාරකයන් හිටියත් රටේම මත්පැන් හල් වැසීමට හේතුව ඒවාට අදාළ නොවන්නේ කෙසේද?

අප ඊයේ ප්‍රධාන පුවතින් වාර්තා කළේද මෙවැනිම සිදුවීමකි. අනුරාධපුර සතොස මත්පැන් අලෙවි හලේ මුද්‍රා සුරාබදු දෙපාර්තමේන්තුව විසින්ම විවෘත කර, රුපියල් ලක්ෂ 16 කට අධික වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් අලෙවි කර ඇත. වාර්තා වන ආකාරයට මේ නීති විරෝධී කටයුත්ත සිදුව ඇත්තේ සතොස ආයතනයේ ඉහළම තැනකින් ආ නියෝගයක් මතය. මත්පැන් මිලදී ගෙන ඇත්තේ ප්‍රදේශයේ ඉහළම හමුදා ලොක්කෙකි.

දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවූයේ රටටම සංචරණ සීමා පැනවීමටත් පෙරය. මෙම නියමයන්ට අනුව කෙනකුට යා හැක්කේ ළඟම ඇති කඩයට පමණය. එතැනටවත් පා ගමනින් මිස පාපැදියෙන්වත් යා නොහැකිය. කොළඹ පිරිසක් ගාල්ලට ගොස් කොවිඩ් එන්නත් ලබාගෙන ඇතැයි වාර්තා වූයේ එවැනි සීමාවන් තිබියදීය.

මෙම සිදුවීමට සම්බන්ධ දොස්තර ලොක්කන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇතත් ඒවා ක්‍රියාත්මක වනු ඇත්දැයි සැක සහිතය. එන්නත් සිදුවීම හේතුකොටගෙන ක්‍රියාත්මක වී ඇත්තේ 2018 වසරේ ඔවුන්ට දී තිබූ සාමාන්‍ය වාර්ෂික ස්ථාන මාරුවකි. වසර දෙකකට වැඩි කාලයක් එම ස්ථාන මාරුව ක්‍රියාත්මක වී නැත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආනුභාවයෙනි. වෙනත් රජයේ සේවකයකු තමන්ට ලැබෙන ස්ථාන මාරුව භාර නොගෙන සිටියේ නම් කුමක් වනු ඇත්ද?

නිරෝධායන නීතිය යටතේ අවමංගල්‍ය අවස්ථාවකට සහභාගි විය හැක්කේ විසිපස් දෙනකු පමණ පිරිසකටය. ඊට වැඩි පිරිසක් පැමිණ සිටියහොත් මියගිය පුද්ගලයා කනත්තට ගෙන යද්දී පැමිණ සිටි පිරිසට නිරෝධායනයට යන්නට සිදුවේ. සෞඛ්‍ය බලධාරින් මෙවැනි නියමයක් පනවා ඇත්තේ කිසිවකු සමග අමනාපයකින් හෝ කිසිවකුට අපහාස කරන්නට නොව රටේ සියලු දෙනාගේ හිතසුව පිණිසය.

මෙම නීතියට මුලින්ම පයින් ගැසුවේ ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයාය. ඔහු අමාත්‍යවරයකු තබා මන්ත්‍රීවරයකුවත් වී නොසිටියදී තම පියාගේ අවමංගල්‍යයට දස දහස් ගණනක් ගෙන්වා ගත්තේය. එකී සිදුවීම සමාජයේ කොතරම් විවේචනයට ලක්වුවත් එම පන්නයේ අවමංග්‍ය උත්සව පැවැත්වීම නැවැතී නැත.

පසුගිය දිනක පැවැති, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික කටයුතු අධ්‍යක්ෂ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමංගල්‍යයද එවැන්නකි. මේ සඳහා මැති ඇමැතිවරු ගණනාවක් සහභාගී වූ අයුරු අපි දුටුවෙමු. එහෙත් පොලිසිය දැක නැත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද දැක නැත.

මෙම සිදුවීම් තුනටම සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ය. අනුරාධපුරයේ සතොස සිදුවීමට උසස් හමුදා නිලධාරියකුද සම්බන්ධය. මේ ගැන පියවරක් නොගෙන ජනතාව වගකීමෙන් කටයුතු කරන්නේ නැතැයි කීමට මින් පසු හමුදාපතිවරයාට හැකියාවක් තිබේදැයි අප දන්නේ නැත.

ගාල්ලේ එන්නත් සිද්ධියද එසේමය. රට වැසිය යුතු යැයි කියමින් කොතෙකුත් කන්කෙඳිරි ගාන්නේ වෛද්‍යවරුන්ය. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්නේ ඉදිරියෙන්මය. ඔවුන් කියන්නේ කොවිඩ් පාලනයේදී ආණ්ඩුවට වැඩපිළිවෙළක් නොමැති බවය. එසේ කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගාල්ලේ තක්කඩි වෛද්‍යවරුන් ගැන කිසිවක් කියන්නේ නැත. කොවිඩ් එන්නත රුපියල් පන්දහසකට විකිණීමේ ජාවාරමක් ඇතැයි කීවේද ඔවුන්ය. ගාල්ලේ එන්නත් දීමේදීද මුදල් ගනුදෙනු සිදුව ඇතැයිද චෝදනාවක් ඇති නමුත්, ජනතාවට හොරෙන් තමන්ගේ ඥාතීන්ට කොවිඩ් එන්නත් ලබාගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඒ කිසිවක් ගැන කටක් අරින්නට බැරි බව අපි දනිමු. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඉහළින් යමෙකු සිටී නම් මේවා ගැන සොයා බැලිය යුතුය.

නිරෝධායන නීතිවලට පයින් ගසා තම මෑණියන්ගේ අවමංගල්‍ය කටයුතු සිදුකළ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි රටට එක නීතියක් අවශ්‍ය බව කී පිරිස අතර ඉදිරියෙන්ම සිටි අයෙකි. එදා ඔවුන් කී දේ ජනතාව පිළිගත්තේය. මේ ආණ්ඩුව පත්වූයේ ඒ අනුවය. දැනුත් ජනතාව යමින් සිටින්නේ ඔවුන් කියන කරන ආකාරයටමය.

රටකට තිබිය යුත්තේ එක නීතියක් කියූ අයත්, එක නීතියක් ක්‍රියාත්මක කළ යුතු අයත්, ඒ නීතිය රකින්නට සිටින අයත්, නීතිය කඩන්නේ නම් ඔවුන් අනුව යමින් ජනතාව නීතිය කඩ කිරීම ගැන දොස් කිව හැකිද?

තවදුරටත් කරුණු කාරණා මේ ආකාරයට සිදුවන්නේ නම් සංචරණ සීමා නොව ඇඳිරි නීතිය පනවා හෝ රට තුළ කොවිඩ් පැතිරීම මර්දනය කළ හැකි යැයි සිතීම සිහිනයක් පමණකි.