කතුවැකි

ඇපල්වලට තහනම් වැට පනින්න බැරිද?

 

අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසන්නා සේ තීන්දු තීරණ ගැනීම තමන්ගේ මුඛ්‍ය ලක්ෂණයක් බව ආණ්ඩුව යළි යළිත් තහවුරු කරමින් සිටී. ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස රුපියල අවප්‍රමාණ කිරීම දිගටම ප්‍රමාද කරමින් සිටි ආණ්ඩුව ඒ තීරණයට එළැඹියේ පසුගිය සඳුදා (07 දා) ය. රාජ්‍ය ආයතනයන්හි විදුලි, ඉන්ධන භාවිතය සීමා කිරීමේ තීරණය මෙන්ම වීථි ලාම්පු නිවීමේ තීරණයද කලකට පෙර ගත යුතුව තිබූ ඒවාය. භාණ්ඩ 367 කට ආනයන සීමා පැනවීමට ගෙන ඇති තීරණද ඉහත තීරණයන්ට දෙවැනි නැත.

මුදල් අමාත්‍යවරයා පෙරේදා (09 වැනිදා) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව නම් කරන ලද භාණ්ඩ 367 ක් මෙරටට ගෙන්වීමට නම් ඒ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ ආනයන අපනයන පාලකගේ විශේෂ අවසරයක් ලබාගත යුතුය. මේ අතරින් ඇතැම් භාණ්ඩයන් සඳහා අමතර බදු ගෙවීමටද සිදුවනු ඇත.

අප කල්පනා කරන ආකාරයට නම් ආණ්ඩුව මේ ගෙන ඇත්තේ වසර දෙකකට පමණ පෙර කොරෝනා පළමු රැල්ලේදීම ගත යුතුව තිබූ තීරණයකි. මේ වන විට ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි නැතිවම බැරි භාණ්ඩ ආනයනයට හෝ ප්‍රමාණවත් තරම් ඩොලර් ආණ්ඩුව සතුව නැත. ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝලිම් තවමත් අවසන්ව නැති අතර යළිත් වරක් ගෑස් පෝලිම් නිර්මාණය වී තිබේ. විදුලිය කැපීමද අවසන්වන දිනයක් ගැන කියන්නට ඇමැතිටත් බැරිය. එසේ වුවත් පසුගිය වසරේ අප අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 06 ක් නැතිනම් මිලියන හයදහසක් (6000) වැය කර තිබේ. අඩුම වශයෙන් පසුගිය වසර ආරම්භයේ හෝ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කර තිබුණේනම් ඩොලර් මිලියන හයදහසක් (6000) ඉන්ධන හෝ ගෑස් වැනි නැතුවම බැරි භාණ්ඩයන් ගෙන්වීමට වැය කළ හැකිව තිබුණා නොවේද?

ආණ්ඩුව ඇතිවන තත්ත්වයන් මත ඉදිරි පුරෝකථනයන් කර ගත්තේ නම්, කොවිඩ් වසංගතය නිසා ආර්ථිකයට සිදු වූ පාඩුව සමග ඩොලර් අර්බුදයක් ඇතිවිය හැකි බව තේරුම්ගත යුතුව තිබිණ. ඩොලර් හිඟයක් ඇති වුවහොත් ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි භාණ්ඩ හිඟයක් ඇතිවන බවත්, විශේෂයෙන්ම ඉන්ධන හිඟයක් ඇති වුවහෙත් රටම අකර්මණ්‍ය වනු ඇති බවත්, උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා සිසුවකු පවා දන්නා සරල කාරණයකි.

කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිටම රට වසන අවස්ථාවේ පවා ආණ්ඩුව මෙම කාරණය තේරුම්ගෙන සිටි බවක් පෙනෙන්නට තිබුණේ නැත. තමන් යමක් නොදන්නේ නම් දන්නා කියන කෙනකු කියන දෙයක් පිළිගන්නට අඩුම තරමින් ඒ ගැන සාකච්ඡා කරන්නට හෝ ආණ්ඩුව නිහතමානී වූයේද නැත. ආණ්ඩුවේ මේ ඔලමෝට්ටලකමෙත්, උද්ධච්චකමෙත් මිල ගෙවමින් දවල්ට පෝලිමේ, රෑට කළුවරේ සිටීමට සිදුව ඇත්තේ ජනතාවටය. අඩුම වශයෙන් කොරෝනා වසංගතය හමුවේ ඇති වූ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ගත යුතුව තිබූ නිවැරදිම තීන්දු, නියමිත කාලය තුළ ගෙන තිබුණේ නම් පෝලිම්වල රස්තියාදු වීමට සිදු වුවත් ආණ්ඩුවට ඡන්දය දීම ගැන ජනතාව තමන්ටම සාපකර නොගෙන සිටිනු ඇත.

අත්‍යවශ්‍ය නොවන යැයි නම් කරමින් භාණ්ඩ 367 කට ආනයන සීමා පනවා ඇතත් එම භාණ්ඩ සියල්ල අත්‍යවශ්‍ය යැයි කිව නොහැකිය. එක් අයකුට අත්‍යවශ්‍ය නොවන දෙයක් තව කෙනකුට අත්‍යවශ්‍ය විය හැකිය. එසේම දීර්ඝ කාලයක් පරිභෝජනයට හුරුවූ යම් භාණ්ඩයක ඇබ්බැහියෙන් මිදීමද ඉතා අපහසු කාරණයකි. විශේෂයෙන්ම මෙම ආනයන සීමාවන් අපගේ ප්‍රධානම විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරයටද යම් බලපෑමක් ඇති කරන බව අමතක කළ යුතු නැත.

මේ නිසා පනවන ලද මෙම ආනයන සීමාවන් එලෙසින්ම ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමකි. එසේ වුවහොත් ආනයන සීමාවන් නිසා තමන්ට යම් දුෂ්කරතාවකට මුහුණ දීමට සිදු වුවද, එය ඉවසීමෙන් විඳගන්නට ජනතාව කටයුතු කරනු ඇත.

පනවා ඇත්තේ අත්‍යවශ්‍ය නොවන්නේ යැයි කියන භාණ්ඩ ආනයනය කිරීම තහනමක් නොව සීමා කිරීමකි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා ආනයන අපනයන පාලකවරයාගේ අනුමැතියෙන් එම භාණ්ඩ ආනයනය කළ හැකිය. මෙවන් අනුමැතියක් දෙන්නේ කුමන පදනමකින්දැයි පැහැදිලි නැත. කිසිසේත්ම එය දේශපාලන බලවතුන්ගේ හිතවතුන්ට පමණක් දෙන අනුමැතියක් නොවිය යුතුය. ඒ හරහා මෙම භාණ්ඩවලට වෙළෙඳ ඒකාධිකාරයක් ගොඩනැගෙන අතර අපේක්ෂා කළ පරිදි ඩොලර් ඉතිරියක්ද සිදු නොවන නිසාය.

ආනයන සීමාවන් නොව මුළුමනින්ම ආනයනය තහනම් කළද, ඇතැම් භාණ්ඩ රට තුළට නොඑන බවට සහතික විය හැකිද? වසර දෙකක් තිස්සේ කහ, කුරුඳු, ගම්මිරිස් වැනි කෘෂි අපනයන භෝග ආනයනය තහනම් කර ඇතත්, පසුගිය වසරේ රුපියල් මිලියන පන්දහසකට ආසන්න (4879.87) වටිනාකමකින් යුත් එම භාණ්ඩ තොග ආනයනය කර ඇති බව රේගු වාර්තා සඳහන් කරන බව අප පුවත්පත ඊයේ වාර්තා කර තිබිණ. මෙලෙස ආනයනය කළ භාණ්ඩ අතර කෝපි මෙට්‍රික් ටොන් 387 ක්, ගොරකා හා ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් 618 ක්, පමණක් නොව පුවක් මෙට්‍රික් ටොන් 239 ක්ද අයත්ය.

මෙම භාණ්ඩ රට තුළට පැමිණ ඇත්තේ රේගුව හරහාය. නීත්‍යනුකූල මාර්ග ඔස්සේය. එසේ නොමැතිව හොර රහසේ මුහුදෙන් කොතරම් භාණ්ඩ තොගයක් පැමිණ තිබේදැයි දන්නේ කවුද? මේ නිසා ආනයන සීමා කළ භාණ්ඩ 367 ද, මේ ක්‍රම දෙක ඔස්සේම රට තුළට නොඑනු ඇතැයි කිසිවකු විශ්වාස කරන්නේ නැත. මේ ක්‍රම සහ විධි සඳහා රේගුව වැනි නිල ආයතනවල ඇතැමුන්ගේද සහය ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි.

භාණ්ඩ ආනයනය සීමා කරන්නට ප්‍රමාද වී හෝ තීරණය කරනු ලැබුවේ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් ඉතිරිකර ගන්නටනම් මෙම ජාවාරම් සිදු නොවන තැනට වගබලා ගැනීමටද ආණ්ඩුව කටයුතු කළ යුතුය. නැතහොත් රටේ ඩොලර් හිඟය තව තවත් උග්‍රවන අතරේ කළු කඩ ජාවාරම ශක්තිමත් වීමත්, ඒ හරහා රේගුව වැනි රාජ්‍ය ආයතන තුළ දූෂණය තවදුරටත් පැතිර යෑමද නොවැළැක්විය හැකි වනු ඇත.

මෙහි නරකම තත්ත්වය වන්නේ, මේ නිසා ජනතාව තවදුරටත් බලාපොරොත්තු සුන් වූ තත්ත්වයට පත් වීමය. ඩොලර් හිඟය අවසන් නොවීම තුළ ඔවුන්ට තවදුරටත් දවල්ට පෝලිමේ, රෑට කළුවරේ සිටීමට සිදුවනු ඇති අතර ආනයන සීමාවන්ට කොකා පෙන්වා ගෙන එන භාණ්ඩ ඔවුන්ට අත පෙවිය නොහැකි තරම් ඉහළ මිලකට අලෙවි වනු ඇති නිසාය.

ඇතිවන ප්‍රශ්නයක්, තත්ත්වයක්, සිදුවීමක් මත අනාගතයේ කුමක් විය හැකිදැයි පුරෝකථනය කර ගන්නට බැරි ආණ්ඩුව ආනයන සීමාවන් පැනවීමෙන් පසු ඇතිවිය හැකි තත්ත්වයන් පුරෝකථනය කරගෙන ඇතැයි සිතන්නේ කෙසේද?