කතුවැකි

අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ!

අමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ යැයි පදයක් ජන කවියක තිබේ.

ඒ අමුතු බත් යනු ඩඩ්ලි සිරිසේන හෝ නිපුන විසින් වෙළෙඳපොළට දාන හාල් වර්ගයකින් ඉදෙන බතක් නොවේ.

අමුතු බත් යනු කෛරාටික සිංහල ගෙදරකට බත් කන වෙලාවට ගිය විට විඳින්නට වෙන අත්දැකීමකි. කෑම වෙලාවට කෛරාටිකයකුගේ ගෙදරට ගිය විට ගෙහිමියා බත් කාලා යමු යැයි ආරාධනා කරයි. කෙතරම් බඩසයින් සිටියත් සිංහලයාගේ සිරිත දැන් එපා කියා යන්නට නැගිටීමය. කෛරාටික ගෙහිමියා එවිට යන්නට යන අමුත්තාගේ වැළමිටෙන් අල්ලා නතර කර ගන්නට හදයි. වැළමිටෙන් අල්ලා යන කෙනකු නතර කළ නොහැක. වැළමිට ලෙස්සා යයි. එවිට බත් දීමට සිදු වන්නේ නැත. කෑමට ආරාධනා නොකළේද නොවෙයි, අමුතු බත් දීම අත අල්ලන විදිහෙන් දැනෙයි.

මෙදා ආණ්ඩුවද ඩඩ්ලි, නිපුන, රත්න ආදී ජාවාරම්කරුවන්ද ජනතාවට දුන්නේ මෙබඳු අමුතු බතකි.

ආණ්ඩුව කොරෝනා ආ වහාම හාල්වලට සිල්ලර උපරිම මිල නියම කළේය. එහෙත් ඒ මිලට හාල් ගන්නට තිබුණේ නැත. එයද කෑමට නවත්තා ගැනීමට වැළමිටෙන් අල්ලා ගැනීමකි.

මෙරට නම ගිය මහ පරිමාණ හාල් මෝල්කරුවකු වූ ඩඩ්ලි සිරිසේන

අප්‍රේල් වෙනතුරු රටට කන්න දෙන්න මගේ ළඟ හාල් තිබෙන බව කීවේය.

‘‘ආණ්ඩුව නියම කරන ගාණට මම හාල් දෙනවා. මම දිව දෙකේ මිනිහෙක් නෙවේ’’

එහෙත් ඩඩ්ලිද සෙස්සෝද හාල් කිලෝව වෙළෙඳපොළට දැම්මේ රුපියල් 89ටය. ඊළඟට හාල් විකුණන කඩකාරයන්ට මෙසේ නියමයක් දැමුවේය. නාඩු හෝ සම්බා ගන්නවා නම් කීරි සම්බාත් ගන්න ඕනෑ.’’

ආණ්ඩුව නියම කරන ගාණට හාල් දෙඤ්ඤං කීවාද පොළොන්නරුවේ කඩවලත් හාල් නැති බවට බෝඩ් එල්ලිණි.

ඒ අනුව හාල් මෝල් හිමියන් ජනතාවට දුන්නේද අමුතුම අමුතු තාලේ බත් දීමකි. මේ අනුව පොළොන්නරුවේ හාල් ගබඩා පරීක්ෂාවට අදාළ බලධාරීන්නුත් හමුදාවත් ගියේය.

ඩඩ්ලි සිරිසේන ඩඩ්ලි හාමු වී ඇමති කුක්කා ගාණට දමා කතා කළේය.

මේ මහා පරිමාණ වී මෝල් හිමියන් පෙන්වන්නේ තමන් වී මිලට ගන්නේ කිලෝව රුපියල් 50 ගණනේ බවය. එහෙත් මේ ගබඩාවල කිලෝව රුපියල් 35 ට 40 ට ගත් වී තොග තවමත් තිබෙන බව නොදන්නේ ආණ්ඩුව පමණය. ආණ්ඩුව පොහොර සහනාධාරය දෙන්නට වසරකට රුපියල් බිලියන 60 ක් වියදම් කරයි, හෙවත් වසරකට රුපියල් කෝටි 6000 ක් වියදම් කරයි.

රටේ ජනතාවගේ බදු මුදලින් ඒ සා මුදලක් දෙන්නේ ජනතාවට අඩු මිලට බත් දෙන්නත්, ගොවියාගේ අතමිට සරු කරන්නටත්ය. එපමණක් නොව කෘෂිකර්ම සේවය වෙනුවෙන් විවිධ අමාත්‍යාංශ හා ආයතනනවල සේවක සේවිකාවෝ 20,000 කට වඩා කෘෂිකර්මය වෙනුවෙන් කැප වී සිටිති.

එහෙත් ගොවියා සතුටින්ද? බත් කන ජනයා සතුටින්ද ? නැත. කවදාත් කරල පැසෙන්නේ සහල් මෝල් හිමියන්ගේය. වහ බොන්නට වෙන්නේ ආණ්ඩුවටය. මේ අර්බුදය ජය ගන්නට මගක් තිබෙන්නට ඕනෑය. ඒ මග සාර්ථක ව්‍යාපාර හැටියට තිබෙන සහල් ව්‍යාපාරය බිමට සමතලා කිරීම නොවේ. ඔවුන්ට සාධාරණ ව්‍යාපාරයක් හැටියට පවතින්නට ඉඩක් තිබිය යුතුය. පොහොර සහනාධාරය ලබා ගන්නා ගොවීන් ආණ්ඩුවට වී විකුණන්නේ නම් පොල්ලත් නොකඩා නයාත් මරා ගත හැකිය. ඒ සඳහා තවත් කන්න ගණනාවක් මෝල් හිමියන් වෙනුවෙන් කරල් නොපැසෙන තැනට වගබලා ගත යුතුය.