කතුවැකි

අපායේ ඉන්ටවල් ඉවරයි!

මේ වසංගතයෙන් මතුවුණ එක හොඳක් තිබෙන බව ඇතැම්හු කියති. හොඳක් අහන්න කොහොමත් බැරි කාලෙක සිද්ධවිය හැකි එකම හොඳ කුමක්ද?

දැන් ආටෝප සාටෝප සහිත මැද පංතියේ ජීවිතයට තිත වැටී ඇත. බීම නැතිව කන්න බෑ යැයි කියා කන්න කලින් තරුණයන් බීම බටයක් සමග බීම බෝතලයක් අතට ගත් යුගය දැන් අවසන්ය. Take away වලට පිටපාරෙන් දැන් හැන්දෑවට ජනතාව ගෙදර යති. කැරට් කෑමට ගන්නවාට වඩා ගන්නේ මූණේ ගාන්න ක්‍රීම් හැටියට යැයි වෙළෙන්දෝ එදා කීහ. ඈත ගම්වල කඩවල භාණ්ඩ අසුරන පුරා හිනැහුණු නිළියන්ගේ රුව රැගත් පුයර දැන් හිටපු තැන්වලමය. පාන් රත්තල ගෙනෙන්නට කාරයෙන්, මෝටර් සයිකලයෙන් ගමේ කඩයට ගිය තරුණ​යෝ දැන් ජීවත් වන්නේ ඇවිද්ද පය දහස් වටී, අඩහ කෑම දහස් වටී කියන ජනකවි උපදෙසට අනුවය. තම කාරය පාරට නොදාන්නට පුරවැසියෝ සිතති. යහ පාලන කාලේ හැම පවුලටම පුංචි කාරයක් ගැන කියවුණ දැන්වීමේ සිටි තරුණයාද දැන් යන්නේ පයින්ය. ෂෝට් ඊට්ස් හෙවත් කෙටි කෑම දැන් තිත්තය. ඇපල් ජූස්, ඇපල්, දොඩම්, ප්‍රයිඩ් රයිස්, නාසිගුරාන් දැන් තිත්තය. එහෙත් මේ තිත්ත ඇත්ත නිසා උපන් තිත්තක් නොව නරියාට මිදි තිත්ත වූ ආකාරයටම සිදු වූ තිත්ත වීමකි. කොතරම් උඩ පැන්නත් දැන් ඒ ජීවිතය කඩා ගන්නට ලැබෙන්නේ නැත. එහෙත් ණයට අරගෙන තෙල්, ගෑස්, කෑම, කාර්, නැව් ගෙන්වන්න ගත් විට වින්ද දුක් පැණි රසයි කියා මධ්‍යම පංතිය ආප්තෝපදේශ මාරු කර පරණ ජීවිතය වැලඳ ගනු ඇත.

දැන් කිරි තේ යාරයක් රුපියල් සියයකි. කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයින් මහා දුමක් නැගෙන බව අප වාර්තාකරුවෝ පැවසූහ. ඒ ගෑස් නැති නිසා රෝහලේ බත් දර දමා උයන නිසා නැගුණ දුමය. දර පැලීම අප මහ බෝසතානන්ද, කුස රජ කල කළ දෙයක් බැවින් පෙර වත අනුව එය අපට අසා පුරුදුය. එහෙත් සති අන්තය වන විට කොළඹ මහ රෝහල, කළුබෝවිල මහ රෝහල ඇතුළු රෝහල් පනහකට කෑම සපයන්නට බැරි බව කොන්ත්‍රාත්කරුවෝ කියා තිබුණි. දැනටමත් මේ රෝහල්වල බත් පතට කිරි බිත්තර, කුකුළු මස් ලැබෙන්නේ අඩුවෙනි. රුපියල් 400 ට තිබුණු කුකුළු මස් කිලෝවක් දැන් රුපියල් 900කි. රුපියල් 160 තිබූ රතු පරිප්පු දැන් කිලෝවක් රුපියල් 430 කි. එදා රුපියල් දහඅටට කිකිළි හැලූ බිජුව දැන් රුපියල් 32 කි. ඉඳින් කෙසේ නම් පරණ මිලට බත් පත දෙන්නද? මේ කන්නය පෙර කන්න තරම් සරු නැති බව ඇත්තය. වී කිලෝව ඉතිහාසයේ වැඩිම ගණන වූ රුපියල් 95 ට ගන්නා විට හාල් කිලෝවද ඉතිහාසයේ ඉහළම මිල වීම අනිවාර්යය. ලංකාවට කෑමට ගෙනා තිරිඟු පිටි, සීනි, කඩල ආදී දෑ පිරවූ කන්ටේනර් 1500 ක් වරායෙන් නිදහස් කර ගත්තේ මාස ගණනකට පසු ගිය සතියේය. එසේ වූ රටේ ඊළඟ කන්නය වගා කරන්නට පොහොර ගෙන්වූවොත් එය ගස්වල මුල් දුවන තෙක් වරායේ මුහුදේ පාවෙනු ඇත. ඊළඟ කන්නයද පාළු වනු නියතය.

මේ ගෙවෙමින් යන්නේ අපායේ ඉන්ටවල් බව ගිය සතිවල අපි සඳහන් කළෙමු. මේ ඉන්ටවල් කාලය හමාරවන ලකුණුය. ඉන්ටවල් ආරම්භ වුණේ ටයිල්, සිමෙන්ති ආදිය හිඟයෙනි. දැන් තෙල්, ගෑස්, බෙහෙත් හිඟය. ඒ නිසා ඉන්ටවල් අවසාන වන්නේ කෑම හිඟ සාගතයකින් බව පෙනේ. අනතුරු මුලින් පෙනෙන්නේ සතුන්ට යැයි කීවාක් මෙන් දැන් කුකුළු කිකිළියන්ට සාගතය පැමිණ තිබේ. නොකා නොබී කෙසේ මැරෙම්ද හාමතේ කියා දැනටමත් කාකයෝ කෑ ගාති. කුකුළු කෑම ගිනි ගණන් නිසාද, ඒවා හිඟවීම නිසාද, දිනකට කිකිළියෝ 25000 ක් පමණ මැරෙති. ඒ මැරෙන්නේ වේලක් දෙකක් බඩගින්නේ ඉන්නා කිකිළියන්ට දිනකට වේලක් කන්න දෙන විට උන් කෑම කෑමට පොර කෑමෙන් මැරෙන නිසාය. ජාතියට බඩගිනි නිවන්න ඉන්න කුකුල්ලුද දැන් ඉන්නේ බඩගින්නේය.. මේ පොරයට අසුවන කිකිළියෝ මැරෙන්නේ දහස් ගණනිනි. ඒ කිකිළි මරණ බිත්තර හිඟයකට මගය. අපේ මිනිස් සමාජයටද මෙබඳු කුකුළු කොටුවක් වෙන්නට වැඩි දිනක් නොයනු ඇත.

අතීතයේ එක් සාගතයක ජනතාව කොටුවේ චාමර්ස් ධාන්‍යාගාරය කොල්ල කෑහ. සාගතය ආවොත් ලංකාවේද කෑම කඩ සාප්පු කොල්ල කෑම ඇරඹෙනු ඇතැයි බියක් පැතිර යයි. එසේ වුවහොත් 87-89 යළි රඟ දැක්වෙනු ඇත. එය වෙනත් හේතු මත වර්තමානයේ රඟ දක්වන එහෙත් ඊට වඩා දරුණු කතාවක් වනු ඇත. 88 සිටි පාත්‍ර වර්ගයාම තවමත් වේදිකාවේ හිඳී. සළුපිළි තරමක් වෙනස්ය. එහෙත් නාටකය කෙළවර 88 ට වඩා දුක්ඛිත වනු නිසැකය.