කතුවැකි

අන්තිම සතිය

මේ අන්තිම සතියය. ජනාධිපතිවරණයකදී තරගකාරයන්ගේ ගති සොබා හඳුනාගෙන ප්‍රතිපත්ති ගැන හඳුනාගෙන ඔවුන්ගේ කතා අසා ප්‍රචාරක ව්‍යාපෘතිද නිමාවට පැමිණ ඇති බැවින් බොහෝ දෙනා සිතනුයේ දැන් ජනතාව තම ඡන්දය දෙන පැත්ත තීන්දු වී අවසානයි කියාය. එහෙත් ඇතැම් මැතිවරණවලදී අන්තිම සතියේ අතිශය තීරණාත්මක දේ සිදුවී ජනමතය සපුරා අවුල් වූ අවස්ථා ලංකා ඉතිහාසයේ අපමණය.

දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී වසර දෙකක් ගෙවුණු තැන 1997 මාර්තු මාසයේ දී ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්විණි. චන්ද්‍රිකා රජය දී තිබූ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම ආදී පොරොන්දු කිසිවක් ඉටු නොවූයෙන් ඇයගේ පාලනයට අනතුරු ඇඟවීමක් කිරීමට ප්‍රගතිශීලී ජනතාව බලාපොරොත්තුව උන්හ. එහෙත් එම පළාත් පාලන ඡන්දය ළං වෙද්දී මහින්ද රන්තිලක, සුසන්ත පුංචි නිලමේ හා ගැටුන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල වෙඩි ප්‍රහාරයකින් මරු වැළඳ ගත්තේය. අනුකම්පාවේ ගින්නෙන් රට ඇවිළිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ පළාත් සභා ඡන්දය කදිමට ජය ගත්තාය.

වසර දෙදාහේ දෙවන වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සිටියේ පල්ලමකට ගමන් ගනිමිනි. ඒ ජනාධිපතිවරණ ජයග්‍රහණය අභියෝගාත්මක විය. බොරැල්ල කැම්බල් පිටියේ අන්තිම ජන රැලියේ ත්‍රස්තවාදී කතක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගත්තේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකාගේ ඇසක් අහිමි කරමිනි. වික්ටර් අයිවන් චෞර රැජන පොතේ විස්තර කරන්නේ මෙය චන්ද්‍රිකාම අටවාගත් බෝම්බයක් වශයෙනි. බෝම්බය පිපිරීමෙන් පසු චන්ද්‍රිකා එක ඇසක් වසාගෙන දරු දෙදෙනාද දෑතින් තුරුලුකරගෙන තමන් පත් විපත රූපවාහිනියේ දර්ශනය කළාය. චන්ද්‍රිකාට පාඩමක් උගන්වන්නට සිතා සිටි මැද මාවතේ ජනතාව කොතරම් කම්පා වූයේද යත් ඒ ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයෙක් ලද වැඩිම ඡන්ද ප්‍රතිශතයෙන් චන්ද්‍රිකා ජයග්‍රහණය කරවූහ.

2010 ජනාධිපතිවරණයේ අන්තිම සතිවල සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය මෙබඳු ආගාධයක වැටුණේය. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තම විරුද්ධවාදියකුට ‘‘ඔය කලවැද්දා මා ළඟට බඩගාගෙන එයි’’ යැයි කීමෙනි.

ඉදිරි සතිය වෙන් වන්නේද මෙබඳු දෑටය. එක්සත් ජාතික පක්ෂය දැනටමත් ජනමනස විපර්යාසයට ලක් කරන දෙයක් ගොඩ නැගීමට කුමන්ත්‍රණය කරන බවට සැක මතු කෙරෙයි. ප්‍රතිවාදියා අටවන උගුල් සේම කට වරද්දා ගනිමින් අමාරුවෙන් ගොඩ නැගූ දෑ තමන්ටම පයට පාගා ගන්නට වෙන දෑ සිදුවිය හැකිය. එසේම යන යකා කොරහත් බිඳගෙන යන්නට ද සිතිය හැකිය. රනිල් අත්සන් කරන්නට හැදූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම එබන්දකි.

එසේම ලංකා ඡන්දදායකයා තේරුම් ගත යුතු තවත් සත්‍යයක් ඇත. ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක ඡන්දයකදී බටහිර යුරෝපා සේම ඉන්දියාවේ අවතාරද මේ බිමේ හොල්මන් කරති. විශ්වාසභංග ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මහජන ගැලරියට ගොස් අත්පුඩි ගසන තානාපතිවරුන්ය, ලංකාවේ ඉන්නේ. ජනාධිපතිවරණය ආසන්න වෙද්දී උතුරු පළාතේ සුළු ජාතික පක්ෂ සමග පමණක් නොව වතුකරයේ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කර ඔවුනගේ සහාය තමන් අභිමත රජයක් පිහිටුවීමට ලබාදෙන විදේශ නියෝජිතයෝ අපමණය. ඔවුන්ගේ ඔත්තු සේවා කරන කියන දෑ වත්මන් රජයට අපමණ අගයෙන් යුතුය.

එබැවිනි අන්තිම සතිය තීරණාත්මක වන්නේ.

සතිය කාලය හැඳින්වීමට සේම තවත් දෙයකට යෙදිය හැකිය. ඒ සිහිය හෙවත් සතිය යන තේරුමෙනි. අන්තිම සතිය යහපත් සිහියකින් යුතුව කල් ගත කරත්වා.!