brand logo

හිතේ කුණක් නැතිව කුණු අදින හපුතලේ සභාපති

22 May 2021

රටේ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඕනෑතරම්ය. ඒත් මේ දිනවල ඒ කිසිම සභාපතිවරයෙක් ගැනවත් රටේ කතාබහක් නැත. මුළු රටම කතාබහ කරන්නේ එකම එක ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ගැන පමණි. ඒ හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කන්දසාමි කන්නා ගැනය. මේ කියන කන්දසාමි සභාපති මේ දිනවල ප්‍රාදේශීය සභාවේ රාජකාරියට අමතරව තවත් රාජකාරියක් කරන්නේය. මුළු රටම ඔහු ගැන කතා කරන්නේ ඒ අමුතු රාජකාරිය නිසාය. ඒ රාජකාරිය ප්‍රාදේශීය සභාවේ කුණු ලොරියේ රියැදුරුකමයි. පසුගිය දිනවල හපුතලේ ප්‍රාදේශීය සභාවට අයත් හපුතලේ, දියතලාව කහගොල්ල හා උමංකඳුරඇල්ල ආදී නරග කසළවලින් පිරී ගොස් තිබුණි. ඒ දින ගණනාවක් තිස්සේ කසළ එකතු නොකිරීම නිසයි. හේතුව කුණු ලොරියේ රියැදුරු ඇතුළු සනීපාරක්ෂක කම්කරුවන් හත් දෙනකු කොරෝනා වයිරසයට ගොදුරු වී තිබීමය. ඒ නිසා ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වූ සෙසු කම්කරුවන් පිරිසක්ද නිරෝධායනයට ලක් කෙරිණි. සභාපති කන්දසාමි කන්නා කුණු ලොරියේ සුක්කානම අතට ගත්තේ එවැනි තත්ත්වයක් යටතේය.

‘‘පසුගිය දවස්වල කසළ ලොරියේ රියැදුරුටත්, සනීපාරක්ෂක කම්කරුවන් කීප දෙනකුටත් කොරෝනා හැදුනා. ඒ නිසා ඒ අයගේ ආශ්‍රිතයනුත් නිරොධායනය කළා. මේ නිසා නගරවල කුණු ගොඩගැහුණ. සේවකයන් නැති නිසා කුණු ඉවත් කරන්න බැරි බවත්, ඒ නිසාම තාවකාලික පිළියමක් හැටියට ගෙදර කුණු ප්‍රශ්නය පුළුවන්තරම් දුරට ගෙදරදීම විසඟන්න කියලත් අපි ශබ්ද විකාශන මගින් නගරයෙන් නගරයට ගිහින් දැනුම් දුන්නා. ඒත් මේ නගරවල අයට තියෙන ඉඩ පහසුකම් හිඟය නිසා ඒක කරගන්නත් බැරිවුණා. නගරය ගඳ ගහන්න ගත්තා. මට කෙළවරක් නැතිව දුරකථන ඇමතුම් ආවා. කුණු ගොඩගැහිලා නගරය ගඳ ගහව කියලා. මේ ප්‍රශ්නය නිසා ජනතාවත් ලොකු පීඩාවක් විඳිනව කියල මට තේරුණා. කුණු එකතු කිරීම ප්‍රාදේශීය සභාවේ වගකීමක්. අවසාන වගකීම මගේ. ඒ නිසා මම තීරණය කළා මගේ වගකීම කොහොම හරි ඉෂ්ට කරන්න. ඒ නිසා පසුගිය 06 වැනිදා මම කුණු ලොරියක් අරන් ගිහින් කසළ එකතු කරන්න ගත්තා.’’

වෙනත් ප්‍රාදේශීය සභාපතිවරු නොකරන තමන් පමණක් අත ගැසූ අලුත් රාජකාරිය ගැන සභාපති කන්දසාමි පවසන්නේ එවැනි කතාවකි. ‘කහගොල්ල නගරයේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් අය. ඒ ගොල්ලන්ගේ අවුරුදුත් ආපු නිසා මම මුලින්ම කළේ ඒ නගරය සුද්ධ කිරීමයි. ඒක එක විදියකට අවදානම් වගේම අසීරු කටයුත්තකුත් වුණා.‘ කෙසේ වෙතත් මේ අලුත් රාජකාරියෙන් පසු සභාපතිවරයාට හැම තැනින්ම ලැබුණේ පැසසුම්. ‘‘අනිත් හැම දේමත් කරන්න මිනිස්සු හොයාගන්න පුළුවන්. ඒත් කුණු අදින්න කිසිම කෙනෙක් එන්නේ නෑ. මේ වැඩේදී තමයි සනීපාරක්ෂක කම්කරුවගෙ අගේ මොනතරම් ද කියලා මට තේරුණේ.’’ කන්දසාමි සභාපතිවරයා අප සමග පැවසුවේ සිනාසෙමිනි. සභාපතිවරයාගේ බිරිඳ අනූෂා නිමාලිය. සිය සභාපති සැමියා කුණු ලොරියේ වැඩ භාර ගැනීම ගැන අපි ඇගෙන් විමසූමි. ‘‘හැම තැනම කුණු ගොඩගැහිලා කියලා පසුගිය දවස්වල මහත්තයට හතර වටින්ම දුරකථන ඇමතුම් ආවා. ඒ ගමන මම විහිළුවට වගේ කිව්වා ඉතින් දැන් ඔයාටම තමයි කුණු අදින්න වෙන්නේ කියලා. ඒ ගමන එයා කිව්ව වෙන කවුරුත් නැතිනම් මම ඒකත් කරනව තමයි කියලා. මගේ මහත්තයා වැඩක් භාරගත්තොත් ඒ වැඩේ හරියටම කරන කෙනෙක්. කවුරු හිටියත්, කවුරු නැතත් එයා ඒක තනියම හරි කරනවා. ඒ ගැන මට සතුටුයි. සමහරු විවිධ කතා කියයි කුණ අදිනවා කියලා. නමුත් කුණු තියාගෙන ඉන්නේ නැතිව ඉවත් කර ගැනීම තමයි කරන්න ඕනෑ.’’ ඇය කියන්නී තම සැමියා ගැන උපන් ආඩම්බරයෙනි. ‘‘මම සිංහල. එයා දෙමළ. ඒත් අපි දෙන්නා විවාහ වුණේ උඩරට ක්‍රමයට. ඒකත් හොඳ ආදර්ශයක්.’’ ඇය කීවේ අපට සමු දෙමිනි. සමන් පාලිත - හල්දුම්මුල්ල
 

More News..