brand logo

සුපිරි නිවාස සංකීර්ණයේ ගින්න හංගලා

23 September 2021

නිවාස සංකීර්ණයේ ගින්න හැංගුවේ ඇයි?

කොම්පඤ්ඤ වීදියේ ඉදිකොට අවසන්ව ඇති කුලුනු දෙකකින් සමන්විත සුපිරි නිවාස සංකීර්ණයක ඇති වූ බව කියන හදිසි ගින්නක් පිළිබඳ වගකිවයුතු අංශ වෙත දැනුම් නොදීම සම්බන්ධව ගිනිනිවන දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත. ගිනිනිවන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිලධාරී කේ.ඒ. විල්සන් ‘අරුණ’ට පැවැසුවේ හදිසි ගින්නක් මෙවැනි තැනක ඇති වූයේ නම් ගිනි නිවන හමුදාව දැනුවත් කළ යුතු නමුත් මෙය රහසිගතව නිවා දමා ඇති බවට ඡායාරූප සමග තොරතුරු ලැබී ඇති බවය. මේ අනුව වහාම විමර්ශන කණ්ඩායමක් මෙම නිවාස සංකීර්ණය පරීක්ෂාවට අද (23 වැනිදා) දිනයේ පිටත් කරන බවට ප්‍රධාන ගිනි නිලධාරි කේ.ඒ. විල්සන් පැවැසීය. මෙම නිවාස සංකීර්ණයේ දහවැනි මහලේ (Unit 10 A) ගින්න හටගෙන ඇති බව පැවැසේ. ඒ පෙරේදා (21 වැනිදා) පස්වරු 5.00ට පමණය. දුමාරයත් සමග ඇති වූ ගින්න විදුලි කාන්දුවක් හේතුවෙන් ඇති වූ බවට සැකකරයි. මෙම ගින්න නිවා දමා ඇතත් කොම්පඤ්ඤ වීදිය පොලිසිය හෝ ගිනි නිවන හමුදාව ඒ පිළිබඳ දැනුවත් කර නොතිබිණි. රුපියල් මිලියන ගණනක් වැය කර මෙම නිවාස වෙන්කරවා ගැනීමට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් කටයුතු කර ඇති නිසා මෙය පිටතට ආරංචි නොවීමට එම නිවාස සංකීර්ණයේ හිමිකාරිත්වය දරන විදේශික ආයෝජකයන් කටයුතු කර ඇතැයි සැක පහළ වී තිබේ. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..