brand logo

පොලිස් උසස්වීම් දීමේ අවුලක්

14 September 2020

එකම දිනක සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි නිලධාරීන් දෙසිය හැත්තෑහතක් අතුරින් තිස් අටදෙනකුට පමණක් උසස්වීම් දෙක බැගින් (Double promotion) ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානයෙන් දැනගන්නට ලැබෙයි. මෙම නිලධාරීන් සියලුදෙනා සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් සඳහා එකම දිනක සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට ඇත. ඒ 2014 ජනවාරි 01 වැනිදාය. එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි එකසිය අසූදෙනකු සහකාර පොලිස් අධිකාරි තනතුරු සඳහා සුදුසුකම් ලබා තිබුණද ඉන් තිස්අටදෙනකුට පමණක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා උසස්වීම් ලබාදී ඇතැයි නිලධාරීහු පෙන්වා දෙති. මෙසේ විශේෂ වරප්‍රසාද ලද තිස්අට දෙනාම මෙම පත්වීම් ලබා ඇත්තේ මෙම සතියේය. මේ හේතුවෙන් අසාධාරණයට ලක්වූ නිලධාරීහු පිරිසක් නීතිමගට යාමට තීරණය කර තිබේ. අසාධාරණයට ලක්වූ අය අතර ඉකුත් ජූලි මස සිට පොලිස් අධිකාරි ධුරයට උසස් කරන්නැයි නිර්දේශ වූ 37ක්ද වෙති. මෙම 37 දෙනාටද උසස්වීම් දෙන්නැයි ජාතික පොලිස් කොමිසම හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවද නියෝග කර ඇත්තේ ඉකුත් ජූලි මාසයේය. නමුත් ඉහළම පොලිස් නිලධාරීන් කිහිපදෙනකු එය ක්‍රියාත්මක නොකර ඒ වෙනුවට පෙර කී තිස්අට දෙනාට පසුගිය ජුනි 10 වැනිදා සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලබාදී ඇතැයි චෝදනා නැගේ. එහෙයින් තමන්ටද පෙරදාතමින් (Back date) උසස්වීම් ලබාදෙන්නැයි අසාධාරණයට ලක්වූ බව කියන නිලධාරීන් 37 දෙනා ඉල්ලා ඇත. ඒ අනුව ඔවුන් නඩු මගට යාමට තීරණය කර තිබේ. මෙම නිලධාරීන් දෙසිය හැත්තෑහත් දෙනාම සහකාර පොලිස් අධිකාරි උසස්වීම් ලබා ගැනීමට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ 2014 ජනවාරි 01 වැනිදාය. තමන් අසාධාරණයට ලක්වූ බව කියමින් මෙම පිරිසෙන් කොටසක් නඩු මගට ගිය අතර ඉන් 57 දෙනකුට 2016 දෙසැම්බර් 25 වැනිදා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කෙරිණි. පසුව 2018, 2019 වසරවල ඉන් තවත් පිරිසක් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට කටයුතු කරන ලදී. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..