කතුවැකි

Z ස්කෝර් එකට යන්න කියමු

මෙරට විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට භාවිත කෙරෙන Z ස්කෝර් ක්‍රමයේ සංශෝධනයක් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. දැනට Z ස්කෝර් ක්‍රමය යටතේ සිසුන් තෝරා ගැනීම සිදුවන්නේ දිස්ත්‍රික් පදනමිනි. යෝජනා වී තිබෙන්නේ මේ වෙනුවට පාසල් පදනමින් සිසුන් තෝරාගත යුතු බවය. ඊයේ (12 වැනිදා) අපගේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මෙම පුවත වාර්තා කළෙමු.

ආණ්ඩුවේ මෙම තීරණය ඉතාමත් කලෝචිත, වහාම කළ යුතු අගනා තීරණයකි. Z ස්කෝර් ක්‍රමය පිළිබඳ එය හඳුන්වා දුන් සමයේ සිටම වි​වේචන එල්ල විය. Z ස්කෝර් අගය හදන්නේ කෙසේ දැයි විස්තර කරන්නට දන්නේ එහි නිර්මාතෘවරයා පමණ දැයි සිතෙන තරමට එය සංකීර්ණය. මේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ උසස් පෙළ විභාගයේ තරගකාරී බව අඩු කිරීමේ හා විෂමතා අවම කිරීමේ අරමුණින් බව කියවුණත් සිදුව ඇත්තේ එයට ප්‍රතිවිරුද්ධ දෙයයි. Z ස්කෝර් ක්‍රමය නිසා ඇතැම් වර්ෂයක A සාමාර්ථ තුනක් ලබාගත් සිසුන්ටද විශ්වවිද්‍යාල වරම් අහිමි වූ බව වාර්තා වී තිබේ.

ඒ අතරම කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්කවලින් උසස්ම ප්‍රතිඵල ලැබූ සිසුන්ට සරසවි වරම් අහිමි වෙද්දී ඇතැම් දුෂ්කර දිස්ත්‍රික්කවල සාමාන්‍ය සාමාර්ථ හෙවත් ‘S’ සාමාර්ථ තුනක් ලැබූ සිසුන්ට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය හිමි වූ අවස්ථා ද තිබිණි.

දැනගන්නට ඇති අන්දමට යෝජිත නව ක්‍රමය අනුව දිවයිනේ සියලු පාසල් ඒවායේ පහසුකම්, විභාග ප්‍රතිඵල ආදී කරුණු මත කාණ්ඩ කිහිපයකට වෙන් කෙරෙනු ඇත. ඒ අනුව කොළඹ ප්‍රමුඛ පාසලක්ද, අනුරාධපුර හම්බන්තොට වැනි දුර බැහැර දිස්ත්‍රික්කවල පාසලක්ද එකම කාණ්ඩයකට අයත් විය හැකිය. ඉන්පසු එක් එක් උපාධි පාඨමාලා සඳහා Z ස්කෝර් අගය නියම වන්නේ මෙම පාසල් කාණ්ඩයන් පදනම් කර ගනිමිනි.

බැලූ බැල්මට මේ ක්‍රමය පවතින ක්‍රමයට වඩා යහපත් හා සාධාරණ ක්‍රමයක් බව පෙනේ. මේ අනුව දිවයිනේ සෑම පළාතකම දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සම අවස්ථා හිමිවනු ඇත. මේ නිසා ජනප්‍රිය යැයි කියන පාසල් අතළොස්සට ඇතුළු වීමට පවතින මාරාන්තික තරගයද යම් පමණකට හෝ අඩුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

අධ්‍යාපනයෙන් සිදුවිය යුත්තේ පරිපූර්ණ මිනිසුන් බිහි කිරීම වුවත්, අපේ රටේ අධ්‍යාපනයේ පවතින තරගය මිනිසුන්ගේ මිනිසත්කමද උදුරා ගන්නා එකකි. ජනප්‍රිය පාසලකට ඇතුළු වීමට, සාමාන්‍ය පෙළට A සාමාර්ථ නවයක් ලබා ගැනීමට සේම, විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට පවතින්නේ නිම නොවන තරගයකි. මේ තරගයෙන් ජය ගන්නේ සීමිත පිරිසකි. එහෙත් ඔවුන් ඇත්තෙන්ම ජයග්‍රාහකයන්දැයි යන ප්‍රශ්නය මතුවන්නේ පළමු ශ්‍රේණියේ සිටම විශ්වවිද්‍යාලයෙන් පිටවනතෙක්ම ශිෂ්‍යයන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන්ටද ඉතා බරපතළ මානසික ආතතිමය තත්ත්වයනට මුහුණ දීමට සිදුවන නිසාය. දැනට පවතින Z ස්කෝර් ක්‍රමය තවදුරටත් පැවතියහොත් දිවි නසා ගැනීමට යොමුවනු ඇත්තේ උසස් පෙළ අසමත් වන සිසුන් නොව A සාමාර්ථ තුනක් වැනි ඉහළම සාමාර්ථයන් ලබන සිසුන්ය.

මෙරට අධ්‍යාපනයේ පවතින මේ තරගය නිසා ජනප්‍රිය පාසල් නමින් අමුතුම පාසල් වර්ගයක්ද බිහි වී තිබේ. මේ පාසල්ද පෙරළා අධ්‍යාපන තරගය තීව්‍ර කිරීමට හේතුවක් වී ඇත. මේ සියල්ලට හේතුව අධ්‍යාපනයේ පහසුකම් බෙදී යෑමේ විෂමතාවයි. මේ විෂමතාව තුරන් කිරීමේ අරමුණින් ආණ්ඩුව තවත් තීරණයක් ගෙන තිබේ. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ජාතික පාසලක් හෝ ලැබෙන පරිදි පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමය. දැනට ඇත්තේ ජාතික පාසල් 372 ක් පමණකි. කෙසේ වෙතත් නව ජාතික පාසල් දහසක් ඇති කිරීමේ යෝජනාව යථාර්ථයක් බවට පත් වන්නේ ඒවා බෝඩ් ලෑලි ජාතික පාසල්වලට සීමා නොවුණහොත් පමණකි. ගොඩනැගිලි, ක්‍රීඩාංගණ වැනි භෞතික සම්පත් ලබා දීමෙන් පමණක් පාසලක් දියුණු නොවන බැවිනි.

ආණ්ඩුව රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සාධනීය පියවර කීපයක්ම ගන්නට සූදානම් වන මේ අවස්ථාවේ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයට හේතුවන වැදගත් කාරණයක් සිහිපත් කිරීමට කැමැත්තෙමු. එය නම් විෂය මාලා සංවර්ධනයයි.

මානව වර්ගයාගේම ප්‍රගමනයට පාදක වූ මූලිකම කාරණය වන්නේ දැනුමයි. මිනිසා විනාශකාරී න්‍යෂ්ටික අවි නිපදවන්නේත්, අභ්‍යවකාශය තරණය කරන්නේත් දැනුම මුල් කර ගනිමිනි. රටක් ලෙස අප ඉදිරියට ගමන් කිරීමට දැනුම වර්ධනය කිරීම මූලික අවශ්‍යතාවකි. අනාගත පරම්පරාවට මේ දැනුම ලබා දෙන මූලික ආකාරය පාසල් අධ්‍යාපනයයි. මේ නිසා රටක අධ්‍යාපනය රටේ සංවර්ධන ක්‍රියාදාමය, ජාතික අභිලාෂයන් හා ජාත්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගෙන සකස් වූ අධ්‍යාපනයක් විය යුතුය. රටක අද අධ්‍යාපනය සකස් විය යුත්තේ හෙට රට ගෙන යන්නට අපේක්ෂා කරන තැනට අනුවය.

මෙතෙක් කල් අපගේ අධ්‍යාපනය සකස් වූයේ ඒ අන්දමට ද යන්න ගැන නම් ඇත්තේ බරපතළ සැකයකි. විෂය මාලා සංවර්ධනය යැයි වරින්වර බොහෝ දේ සිදුව තිබේ. එහෙත් මේ වෙනස්කම් බටහිර අච්චුවකට අනුව ගනු ලැබූ පියවර යැයි සනාථ වන්නේ මෙරට අධ්‍යාපනයේ වර්තමාන ප්‍රතිඵල දෙස බලන විටය. මේ නිසා වත්මන් ආණ්ඩුව හෝ ලෝක තත්ත්වයන් තුළ දේශීය අවශ්‍යතාවලට අනුකූලව, රජයේ සංවර්ධන ක්‍රියාදාමය පදනම් කරගත් විෂය මාලා සංස්කරණයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කරමු.

මෙහිදී කිව යුතු තවත් දෙයක් තිබේ. මෙතෙක් කලක් අප දැක ඇත්තේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවන අධ්‍යාපන ප්‍රතිපත්තියකි. ඇතැම් විටෙක එකම ආණ්ඩුවක ඇමැතිවරුන් මාරුවන විට මාරුවන අධ්‍යාපන ප්‍රතිපත්තියකි. නව ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු නොවන නිශ්චිත කාලයකින් පසු ප්‍රතිඵල සමාලෝචනය කර අවශ්‍ය සංශෝධන පමණක් කරන ජාතික ප්‍රතිපත්තියක් වේවායි ප්‍රාර්ථනය කරමු.