brand logo

VOC බඩු නැවතත් කරලියට

19 December 2020

කොළඹ පැත්තේ නෝනා මහත්මියකට පෞරාණික බඩු නොහොත් ඇන්ටික්ස් බඩු කීපයක් ගන්න හිත් පහළ වූ වෙලාවේ ඇය ගියේ ඇන්ටික් බඩු සාප්පුවකටය. එහි ඇති විවිධ පරණ බඩු ආසාවෙන් අත ගා බැලූ ඇය ඇන්ටික්වල මිල ගණන් අසා මවිතයට පත් වූවාය. හුස්ම ඉහළට ඇදගෙන, බලමින් සිටි ඇන්ටික් භාණ්ඩය දෙසම බලාගෙන සිටියාය. ඇන්ටික් වල මිල ගණන් ඇයට නම් දරාගතක නොහැකිවිය. නමුත් අන්තිමේදී ඇය ඇන්ටික් කඩයෙන් එළියට එන විට කී කතාව අසා ඇන්ටික් කඩයේ අලෙවිකරුවන්ට නම් සිනහව නවතාගත නොහැකි විය. ‘‘ඔයිට වැඩිය හොඳ ඇන්ටික්ස් අඩු ගාණට හදාගන්න පුළුවන් මෙයා!’’ ලංකාවේ කලකට ඉහත VOC බඩු හොයන උන්මාදයක් හමා ගියේ මෙරට පරණ VOC කාසි ඇති වලව්, පන්සල් මෙන්ම කෞතුකාගාරද මංකොල්ලකෑමට ලක්වීමෙනි. මේ ඇන්ටික් බඩු සෙවූ පුද්ගලයන් අධි මිලකට ගත් එක් සත්ත්වයෙක් විය. ඒ මුළුමනින්ම කළු පැහැයෙන් යුත් පූසන්ය. මිලදී ගන්නා පූසාගේ එක් අල්පෙනෙති තුඩක් තරම්වත් සුදු තිතක් තිබුණොත් පූසාට විදේශගත වීමේ වරම් අහිමි විය. දැන් මේ VOC බඩු සඳහා හිතා ගන්නට බැරි තරම් මිල ගණනකට ඉල්ලුමක් ලැබී ඇත්තේ ෆේස්බුක් නොහොත් මුහුණු පොත හරහාය. VOC පිඟන්, කාසි, ගෙම්බා මාක් මහන මැෂිම, රේඩියම් VOC පිඟන්, ආදිය මේ අතර වෙයි. ෆේස් බුකිය හරහා මේ එවලේම මිලදී ගන්නට ඉල්ලන භාණ්ඩවලට ගෙවන මිල ගණන්ද අදහාගත නොහැකි තරම් ඉහළ ගණනකි. VOC රැජින ඔටුන කාසියක් එක් පුද්ගලයකු මිලදී ගන්නා බව කියන්නට පෝස්ටුවක් දමා තිබුණි. පෝස්ට් එකේ සඳහන් පරිදි VOC රැජින කාසියක් සඳහා ගෙවන මුදල රුපියල් ලක්ෂ 15කි. එය නම් සිතා ගත නොහැකි මුදලකි. නමුත් ඉතිහාසය දත් අය කියන්නෙ VOC රැජින නමින් කාසියක් නැති බවය. පැහැදිලිව කිවහොත් රැජින යන සංකල්පය මෙරටට ආවේ ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූවාට පසුවය. ලන්දේසීන්ට මහරැජින සමග ආලකම් පාන්නට ඉතිහාසයේ කිසිදු තැනක් නොවීය. පළමුවැනි එලිසබෙත් මහරැජින සිටියේ 1533-1603 දක්වාය. වික්ටෝරියා අධිරැජිනිය ජීවතුන් අතර සිටියා ලෙස සලකන්නේ 1901 දක්වාය. ලංකාවේ ලන්දේසි ඉතිහාසය ගැන ලියන ටිකිරි අබේසිංහයන් පවසා ඇත්තේ ලන්දේසින්ට ඉංග්‍රීසීන් සමග එක් වී රැජින සිටින කාසියක් ගහන්නට තරම් පිස්සුවක් නොවූ බවය. ඔහු සඳහන් කොට ඇත්තේ මේ රැජින VOC කාසි සහ පොල් ගහ ලකුණ VOC  කාසි ඉංග්‍රීසි යුගයේ මෙරට ව්‍යාජ ලෙස ප්‍රචලිත වූ ඒවා බවය. මේ මුහුණු පොත හරහා VOC කාසි ලක්ෂ ගාණට ඉල්ලන අය ලංකාවේ ලන්දේසි යුගය ගැන පවා අවබෝධයක් නැති අය බව මෙයින් තහවුරු වේ. මේ මුහුණු පොතේ VOC බඩු ඉල්ලා දමා ඇති පෝස්ටුවක ඉල්ලා ඇති පිඟාන මිලදී ගන්නේ රුපියල් කෝටි 100කටය. එහි සඳහන් පරිදි පිඟාන අයිති පුද්ගලයාට පිඟානට ලැබෙන මුදල වන කෝටි 100 දෙකට බෙදා ගැනීමට නොහොත් කෝටි 50ක් දීමට සිදුවේ. මේ VOC පිඟාන රේඩියම්වලින් හැදූ එකක් බව පෝස්ටුවේ කියවේ. එම පෝස්ට් එකට කමෙන්ට් 11 වැටී තිබුණ අතර බොහෝ දෙනකු අසා තිබුණේ කෝටි 100කට රේඩියම් පිඟානක් මිලදී ගන්නට ඉදිරිපත් වී ඇති ගැනුම්කරු කවුද යන බවය. එහෙත් ලන්දේසි ඉතිහාසය පිරික්සීමේදී බොහෝ විට කාසි සහ අනෙකුත් ආයිත්තම් සඳහා යොදා ගෙන ඇත්තේ ලෝකඩ, රිදී සහ රත්තරං බව සඳහන්ව ඇතත් රේඩියම් ගැන සටහනක් සොයා ගැනීමට නොහැකි විය. මේ VOC බඩු හොයන හාදයින් මේ අකුරු තුනේවත් තේරුම දන්නේ දැයි සැකසහිතය. මේ VOC අකුරු තුනේ නියම ‍ලන්දේසි නාමය වේරේනිග්ඩේ ඔස්ටින්ඩිෂ් කම්පැනිය වේ. තේරෙන භාෂාවෙන් කිවහොත් ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම ලෙස එය හැඳින්වේ. ලංකාවේ ලන්දේසි යුගය හමාර වී වසර සිය ගණනක් ගියත් අපට නම් මෙය පරම්පරාවෙන් පරම්පරාවට අදත් සමීප අකුරු තුනක් බව නොකියා බැරි විය. මේ VOC බඩු සොයන උදවිය VOC කාසි, පිඟන්, මෙන්ම VOC අකුරු ඇති පෙට්ටගම් ලංකාවේ දෙතුන් සියයක් තිබුණොත් ලංකාවේ අයවැය පරතරය පියවීම සුටුස් ගා කළ හැකි කටයුත්තක් වනු නියතය.  පෘතුගීසීන් පළවා හැර ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ පළාත් අත් පත් කරගත්තේ මීට වසර 362කට පෙර 1658දීය. අද මේ ඕලන්දය හැඳින්වෙන්නේ නෙදර්ලන්තය ලෙසය. ලන්දේසීන් විශේෂයෙන් VOC අකුරු තුන යොදා ගත්තේ කාසිවල වුවත් තවමත් ලංකාවේ සංරක්ෂිතව ඇති ගොඩනැගිලිවල මේ වෙළෙඳනාමය සුරක්ෂිතව දැක ගත හැකිය. ලංකාවට කාසි නිකුත් කිරීමේ ලන්දේසි ක්‍රියාවලිය ඇරඹෙන්නේ මීට වසර 337කට පෙර 1683දීය. මෙම ගිවිසුම ඇතිවන්නේ පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම හා මහනුවර රාජසිංහ රජු අතරය. ඇති කරගත් ගිවිසුමේ කාසි ගැන සඳහන් වන්නේ 14 වැනි වගන්තියේය. සිංහලයේ රාජෝත්තමයන් වහන්සේ හෝ ඕලන්ද ආණ්ඩුව විසින් පත් නොකළ කවරාකාරයේ හෝ අයකුට කූට කාසි අච්චු ගැසීම, නිපදවීම හෝ ප්‍රචාරය කිරීම අච්චු කළ හැකි වරදක් බව එහි සඳහන්ව ඇත. ඕලන්ද කාසි භාවිතයට පෙර ලංකාවේ භාවිත වී ඇත්තේ පෘතුගිසීන් විසින් නිකුත් කළ කාසිය ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් කෞතුකාගාරයේ තවමත් පෘතුගීසි කාසි තැන්පත් කොට ඇත. එහි ඇති සුරක්ෂිතම පෘතුගීසී කාසිය හොයා ගෙන තිබුණේ කයිමන් දොරකඩ ළඟදීය. කයිමන් දොරකඩ පිහිටා ඇත්තේ පිටකොටුවේ කෙළින් වීදියේ චයිනා වීදියට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති ඝංඨාර කුලුන ඇති ප්‍රදේශයේය. VOC කාසි සොයන කවුරුත් පෘතුගීසි කාසි සෙවූවත් සොයාගත නොහැකි හේතුවක් ඇත. ඒ ඕලන්දය පෘතුගීසි කාසි තහනම් කරන ආඥාවක් නිකුත් කොට ඒ පෘතුගීසි කාසි එකතු කරගෙන ඒවා උණු කර විනාශ කොට ඒ වෙනුවට ඕලන්ද VOC කාසි නිකුත් කිරීමය. ලංකාවේ ඕලන්ද කාසි ප්‍රදේශ හතරක නිපදවා ඇති අතර කාසිවල C ලෙස කොළඹත්, G ලෙස ගාල්ලත්, T ලෙස ත්‍රිකුණාමලයත්, J ලෙස යාපනයත් ඉතා සූක්ෂම ලෙස කැටයම් කොට ඇත. මේ තවත් ෆේස්බුක් පෝස්ට්ටුවක තිබුණේ VOC රැජින කාසියක් ලක්ෂ හතරකට මිලදී ගන්නා බවය. VOC රැජින ඔටුන්න කාසියක් ලක්ෂ 8කට මිලදී ගන්නා බවය. බොහෝ ඓතිහාසික ලේඛනවල සඳහන් වන්නේ 1693දී ව්‍යාජ කාසි හඳුනාගැනීමට ඉන්දියාවෙන් හා ඕලන්දයන් රාජකීය කාසි අච්චු ගසන්නේ නැව් මගින් පැමිණි වගකි. මේ කාසි, විශේෂෙයන් හඳුනාගත් හොර කාසි යකඩ කට්ටි මත තබා කුලු ගෙඩි පහරින් තලා හිල් කොට කම්බියකින් ගැටගසා ඇත්තේ සාරවිට කාරයා සිසිල් බීම මූඩිවලින් හදා ගත් වළල්ලක් ආකාරයෙනි. උණු කිරීමට ප්‍රථම මෙසේ කරන්න ඇත්තේ උණු කරන්නටත් පෙර මෙම කාසි නැවත භාවිතයට හොර රහසේ පැමිණිය හැකි නිසාය. VOC බයර්ස් ඇන්ඩ් සෙලර්ස් නමැති මුහුණු පොතේ පෝස්ට් එකක් දමා තිබුණේ VOC රැජින ඔටුන්න කාසියකට ලක්ෂ 20ක් දෙන බවකි. එහෙත් එහි කමෙන්ට් එකකට පුද්ගලයකු වීඩියෝවක් මුදා හැර තිබුණි. එහි තිබුණේ ව්‍යාජ ලෙස සැකසුණු VOC රැජින කාසි තුනක් කුඹුක ප්‍ර්‍රදේශයේ හා නුවරඑළිය ප්‍රදේශයෙන් සොයා ගත් බවට වූ රූපවාහිනි ප්‍රවෘත්තියක දර්ශන කිහිපයකි.  දැන් දැන් ප්‍රදේශ අනුවද මුහුණු පොතේ VOC කාසි ඉල්ලනු දක්නට ලැබේ. එක් පෝස්ට් එකක තිබුණේ තංගල්ල අවට VOC කාසි විකුණාගන්නට බලාපොරොත්තුවෙන් ඉන්න පිරිස ඉන්බොක්ස් එන්න, ෆෝන් නම්බර් එක sms දාන්න යනුවෙනි. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මේ මුහුණු පොත හරහා කෙරෙන මහා VOC කාසි හා අනෙකුත් කාසි, පිඟන් ආදිය ගැන ගතයුතු නීතිමය පියවර ගැන කිසිවකු සැලකිල්ලක් නොදැක්වීමය. නමුත් අවසානයේ මේ VOC කාසි නිසා කාසි මිටි බැඳගත් පිරිසක්, අලුත් වෙළෙඳ ප්‍රජාවක් නම් බිහි වූ බව නොකියාම බැරිය.   වජිර ලියනගේ
 

More News..